පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගර්භණී මවුවරුන් අතර රෝගය පැතිරීම අවම වෙලා- එන්නත්කරණය නිසා දරුවාට සහ මවට කිසිම උපද්‍රවයක් නැහැ-විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා

    ඔක්තෝබර් 09, 2021

    ගර්භණී මවුවරුන් අතර මේ වන විට කොවිඩ් රෝගය පැතිරීම අවම වී ඇති බවත්, එන්නත්කරණය නිසා දරුවාට සහ මවට කිසිම උපද්‍රවයක් සිදුවී නොමැති බව මවට දරුවා ලැබී මසක් පමණ යනකන් සිදුකළ පසුවිපරම් අනූව පෙනීයන බවද පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය සදහන් කළාය.

    ඇය මේ බව කියා සිටියේ (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබද මාධ්‍ය හමුවේදී ගර්භණී මවුවුරුන්ගේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

    අද වන විට 90% - 95%ත් අතර ගර්භණී මවුවරුන් පළමු කොවිඩ් එන්නත ලබාගෙන ඇති බවද, එය ඉතාමත් හොද තත්ත්වයක් මෙන්ම බොහෝ දිස්ත්‍රික්ක සහ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කද ආවරණය වන පරිදි හොද ආවරණයක් ලබාගනිමින් මෙම එන්නත්කරණය සිදුව ඇති බවද වෛද්‍යතුමිය සිහිපත් කළාය.

    මේ සම්බන්ධයෙන් සියලුම මහජන සෞඛ්‍ය කාර්යය මණ්ඩල, රෝහල් කාර්යය මණ්ඩල වලට මෙන්ම මාධ්‍යවේදීන්ට ස්තුතිය පළ කිරීමට අමතක නොකළ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවේ යම් යම් හේතූන් නිසා මවුවරු කිහිපදෙනෙක් එන්නත ප්‍රතික්ෂේප කළද බොහෝ මවුවරුන් මැළිකමක් නොදක්වා එන්නත ලබාගත් බවයි.

    පසුගිය දෙසතියක කාලසීමාව තුළ ලංකාවේම කොවිඩ් රෝග ව්‍යාප්තියේ යම් අඩුවක් දක්නට ලැබුණු අතරම ඊට සමගාමීව ගර්භණී මවුවරුන් අතරද රෝගය පැතිරීම අඩුවක් දුටු බව ඇය පැවසුවාය. මේ වන විට පළමු රැල්ලේ සිටම ගර්භණී මවුවරුන් 8500ක් පමණ කොවිඩ් රෝගය ආසාදනය වූ බවද, ඉන් බොහෝ දෙනෙකු ප්‍රතිකාර ලැබ සුවවී ගිය බවද සඳහන් කළ චිත්‍රමාලීද සිල්වා මහත්මිය වැඩිදුරටත් සදහන් කළේ මෙම මවුවරුන් අතරින් 56 දෙනෙකු මියගිය බවයි.

    එන්නත්කරණය සමග ඉදිරියේදී ගර්භණී මවුවරුන් කොවිඩ් ආසාදිතව අසාධ්‍ය තත්ත්වයට පත්වීම සහ මිය යාම අවම වෙතැයි විශ්වාස කරන බව පැවසූ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කියා සිටියේ සමාජයේ රෝග ව්‍යාප්තිය අඩුවීම සහ එන්නත්කරණය නිසා ගර්භණී මවුවරුන්ගේ ප්‍රතිශක්තීකරණය වැඩිවීම යන කාරණා ද්විත්වයම ගර්භණී මවුවරුන් අතර රෝගය සෑදීමේ හැකියාව අඩුවීමට හේතුවන්නට ඇතැයි විශ්වාස කරන බවයි.

    එහෙත් මෙම අවස්ථාවේ ලිහිල් වීම හොද නැති බවත්, එනම් එන්නත් ලබාගත්තද සියලුම ගර්භණී මවුවරුන් වෙත ලබාදෙන උපදේශය වන්නේ තමන් සෞඛ්‍යාරක්ෂිතව, උපදෙස් වලට නතු වෙමින් අත්‍යවශ්‍යම දේකට හැර නිවසෙන් බැහැර නොයමින් නිවසටම වී සිටින ලෙස යැයි වෛද්‍යතුමිය අවධාරණය කළාය. අත්‍යවශ්‍යම දෙයකට නිවසින් බැහැරව යන සෑම අවස්ථාවකම නිවැරදි ලෙස මුඛ ආවරණයක් පැළදීමට අමතක නොකරන ලෙසත් ඇය කියා සිටියාය.

    එන්නත් ලබාගත් සෑම ගර්භණී මවක් සම්බන්ධයෙන්ම දත්ත එක්රැස් කරන බවත්, එසේ එක්රැස් කරන දත්ත සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මගින් එම දත්ත ලබාගනිමින් එම මව දරුවා ලැබී දරුවාටද මාසයක් ගතවන තුරු පසුවිපරම් කරමින් මවට සහ දරුවාට යම් කිසි ප්‍රශ්නයක් ඇතිවූවාදැයි සොයා බලන බවද ඇය පැවසුවාය.

    එසේ පසුවිපරමින් ලබාගත් දත්ත අනූව මෙතෙක් එන්නත්කරණයට ලක්වූ මවට සහ ඉන්පසුව බිහිවන දරුවාට කිසිදු උපද්‍රවයක් සිදුවී නොමැති බවද, එමනිසා එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක වන්නේ යැයි කීවාය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya