නව පනතක් සම්මත නොකර, පැරණි ක්‍රමයට හෝ , පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව, නීතිපති මතය බව, "මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ" සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ මහජන නියෝජිතයන් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් සභා සඳහා ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය වුවත්, ඊට බාධාව මෙම නීතිමය තත්ත්වය බවයි, සභාපතිවරයා කාරක සභා සාමාජිකයන් වෙත පෙන්වා දුන්නේ.
දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, එම විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුව සංකීර්ණයේදී, 08 දින රැස්වූ අවස්ථාවේදීය.
එම කාරක සභාව නියෝජනය කරන විවිධ මන්ත්‍රීවරුන් මීට පෙරද පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්විය යුතුයැයි කාරක සභා රැස්වීම්වලදී අදහස් පළ කර ඇති අතර, 2021.10.08 දින රැස්වීමේදීද යළි එම අදහස් ඉදිරිපත් කර තිබේ. කාරක සභා සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී නීතිපති මතය ඉදිරිපත් කරමින්, මෙම විශේෂ කාරක සභාවේ කාර්යය, නිර්දේශ ලබාදීම මිස, නීති සැකසීම නොවන බවද සඳහන් කළේය.
නීති සැකසීම පාර්ලිමේන්තුවේ සහ පවතින රජයේ කාර්යයකි. පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් දැනට පවතින පනත අහෝසි කළත්, නව පනතක් සම්මත කර නොගෙන, කුමන ක්‍රමයකට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව, නීතිපතිවරයා මෙම කාරක සභාවට දැනුම් දී ඇත.
විශේෂ කාරක සභාව වෙත ඉදිරිපත්ව ඇති යෝජනා විශ්ලේෂණය සඳහා, කාරක සභාව නියෝජනය කරන සාමාජිකයන් ලබාදුන් නම් අනුව පත්කර ඇති, විද්වත් කමිටුවේ සාමාජිකයන්ව, 2021.10.08 දින රැස්වීමට කැඳවා තිබිණි.
එසේ පැමිණ සිටි සාමාජිකයන් අතරද, පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තුව ඡන්ද ක්‍රමයන්හි වියයුතු වෙනස්කම් සම්බන්ධයෙන් විවිධ මත පැවතිණි. මෙදිනට සහභාගිවීමට නොහැකි වූ විද්වත් කමිටු සාමාජිකයන්ට වෙනත් දිනයක, විශේෂ කාරක සභාව හමුවේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙනු ඇත.
නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, එම්. යූ. එම්. අලි සබ්රි යන අමාත්‍යවරු සහ ජීවන් තොන්ඩමන්, අනුර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම්, රවුෆ් හකීම් යන මන්ත්‍රීවරු, මෙම විශේෂ කාරක සභාවේ සෙසු සාමාජිකයෝ වෙති.