එම කාර්යසාධක බලකායේ සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළේය.
දැනට වතු සමාගම් සතුව වසර 25කට අධික කාලයක් තිස්සේ කිසිදු වගාවක් සඳහා යොදා නොගත් ඉඩම් රාශියක් රට තුළ පවතී. එහෙත් ඒවා කිසිදු වගාවකට යොදා නොගැනීම නිසා එමගින් රටට හෝ ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නැත. මේ සම්බන්ධව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් අවස්ථා ගණනාවක දී අමාත්‍ය මණ්ඩල රැස්වීම් තුළ දී කරුණු පෙන්වා දුන් බව පරිසර අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම වගා නොකළ ඉඩම් පවරා ගැනීම සඳහා සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිතුමන් විසින් අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන් බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
එමනිසා එවැනි ඉඩම්වල ආහාර භෝග වගා කිරීම සඳහා එම ඉඩම්වල අයිතිය සතු සමාගම් පියවර ගන්නේ නම් ඒ සඳහා රජය වශයෙන් අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට තීරණය කර තිබේ. එමෙන්ම ඔවුන් විසින් ඊට අදාලව පියවර නොගන්නේ නම් එවැනි ඉඩම් හඳුනාගෙන දැනට වගාව සඳහා ඉඩම් නොමැති පුද්ගලයින්ට ඒවායේ ආහාර භෝග වගාවන් කිරීමට පමණක් අවසර ලබා දීමට කටයුතු යෙදිය හැකි බව මෙම කමිටුවේ දී අවධාරණය විය.
එමෙන්ම වසර 25කට අධික කාලයක් වගා නොකළ ඉඩම් විවිධ නිවාස යෝජනා ක්‍රම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව සමහර සමාගම් විසින් ප්‍රකාශ කර ඇතත් මින් ඉදිරියට එවැනි ඉඩම් නිවාස යෝජනා ක්‍රම ගොඩ නැගීම සඳහා ලබා නොදිය යුතු යැයි ද මෙම කාර්ය සාධක බලකායේ දී සාකච්ඡා විය.
දැනට තිබෙන මෙම ඉඩම් ටික විදිමත් පරිදි කළමනාකරණය කර නොගත හොත් ආහාර භෝග වගාව සඳහා ඇති ඉඩම් හිඟකම තවත් ඉහළ යා හැකි බව ද පෙන්වා දුන්නේය. එමනිසා වතුසමාගම් යටතේ පවතින මෙම ඉඩම් ආහාර භෝග වගාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඵලදායි ලෙස යොදා ගැනීමට පියවර ගත යුතු බව මෙම ජනාධිපති කාර්යසාධක බලකා රැස්වීමේ දී පුළුල් ලෙස සාකච්ඡා කළේය.