රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(12දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් අළලා මාධ්‍යවේදියකු කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වත්මන් රජය ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බවත්, මීට පෙර පැවති රජයන්හිදී රාජ්‍ය නායකයා විසින් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීම් පවා තමන් සන්තකයේ තබාගෙන සිටි බවත්, ඒවායේ දී ඒකාධිපති පාලන ක්‍රම පැවති බවත් අමාත්‍යවරයා පැවසීය.
එහෙත් ජනාධිපතිවරයා මෙම අවස්ථාවේ ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු සේ ස්වයං විවේචනයක් කරගත් බවත්, තමන්ගේ අඩුපාඩුවක් පවතී නම් එය පිළිගැනීම යහපත් දෙයක් බවත්, අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ජනාධිපතිවරයාගේ නිහතමානීකම නිසාම කළ ප්‍රකාශයක් මිස දුර්වලකමක් හෝ ආණ්ඩුවේ අවසන් කාලය පිළිබඳ සංඥාවක් ලෙස භාරගතයුතු නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.
එහිදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ 2019 තමන් රජය භාරගන්නා විට එවකට පැවති රජයේ අසාර්ථකත්වය නිසා සම්පූර්ණයෙන් කඩා වැටී තිබූ රටක් ලෙස මෙරට තිබූ බවත්, වත්මන් ජනාධිපතිවරයා ධුරයට පත්වන විට පාස්කු ප්‍රහාරය හේතුවෙන් රටට ලාභය ලැබෙන සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් කඩාවැටී තිබූ බවත්ය.
මෙරටට තිබූ ඉතා විශාලම වත්කම වූ හම්බන්තොට වරාය පසුගිය රජය විකිණූ බවත්, තමන්ට ලැබූ විශාලතම ආයෝජනය වන වරාය නගරයේ වත්කම බිලියන 1.4ක් බවත්, මේ දෙකම අමෙරිකානු ඩොලර් බිලියන 2.8ක් බවත්, සංචාරක ව්‍යාපාරයෙන් නැතිවූ ප්‍රමාණය දෙගුණයක් බවත්, බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
වසංගතයට පසුව ලෝක අර්බුද තත්වයක් යටතේ ලෝකයේ බලවත් රටවල් පවා කඩා වැටී ඇති බවත්, රට අද පවතින තත්වයෙන් හෝ ගෙනඒමට හැකිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ගෞරවය හිමි වියයුතු බවත් පවතින තත්වය යටතේ ගෑස් මිල, බොර තෙල් මිල හා කිරිපිටි මිල වැඩිවන බවත්, වසංගතයකට පසුව ලෝකයේ හැම විටම සාගතයක් පැමිණෙන බවත්, සමස්ත ලෝකයේම විරැකියාව, මන්ද පෝෂණය වැඩිවී ඇති බවත්, කර්මාන්ත ඇණහිට ඇති බවත්, ඒ තත්වය යටතේ අපට ගැලවී සිටීමට නොහැකි බවත්, අමාත්‍යවරයා පැවසීය.
අවාසනාවකට ලෝකයේ අනෙක් රටවල්වල පැවති අර්බුදය මෙරට සිටින අවස්ථාවාදීන් කිසිවෙකුට නොපෙනෙන බවත්, දකුණු ආසියාවේ අනෙකුත් සැම රටක්ම පාහේ මෙම තත්වයට මුහුණ දී ඇති බවත්, ලෝක අභියෝගයට මුහුණ දීමට මිල ඉහළ දැමිය යුතු බව කී අමාත්‍යවරයා, පවතින තත්වය යටතේ මේ වන විට ඛණිජ තෙල් වැඩි මිලට ගෙනැවිත් පාඩුවට විකිණීම සිදුකරන බවත්, මෙම පාඩුව විඳිය යුතු වන්නේ අමාත්‍යවරයා පෞද්ගලිකව නොව සියලු පුරවැසියන් බවත්, අලාභ විඳිමින් ආයතනය ගෙනයාමට නොහැකි බවත්, එම නිසා අවශ්‍යයෙන්ම මිල ගැලපීමක් සිදු කිරීමට සිදුවන බවත්, කවර අවස්ථාවක එය සිදු කරන්නේද යන්න මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කරනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.