දින පහක සුහද සංචාරයක නිරතවීම සඳහා ශ්‍රී ලංකාවට සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ඇතුළු දූත පිරිස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු දිනය ඔක්තෝබර් මස 14 දිනට යෙදී තිබෙන අතර එම සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහභාගී වීමට නියමිතව ඇත. එහිදී, හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියක් එතුමන් වෙත පිරිනැමීමට නියමිතයි. ඊට ප්‍රථම එතුමන් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ඉන්දියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් හමුවීමට නියමිතව ඇත.
මෙම ඉන්දියානු දූත පිරිසට ඉන්දියානු යුද්ධ හමුදා භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනි වීනා නාරාවන (Mrs Veena Naravane) මහත්මිය, ඉන්දියානු යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අණදෙන සහ මේජර් ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් රජීව් තාපර් මහතා (Major General Rajeev Thapar), හමුදා සහයක මේජර් ජෙනරල් වික්රාන්ත් නයික් මහතා (Major General Vikrant Naik) සහ කර්නල් මන්දීප් සිං දිල්ලොන් මහතා (Colonel Mandeep Singh Dhillon) අයත් වන අතර එම පිරිස ජය ශ්‍රී මහ බෝධිය සහ තවත් ආගමික ස්ථාන කිහිපයක් වැඳපුදා ගැනීමට ද නියමිතය.
මෙම සංචාරය සඳහා සහභාගී වූ ඉන්දියානු යුද්ධ හමුදා භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනි වීනා නාරාවන (Mrs Veena Naravane) මහත්මිය වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය විසින් මල් කළඹක් පිරිනමමින් උණුසුම් අයුරින් පිලිගත්තාය. සංචාරයේ නිරත ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි ගුවන් තොටුපල පරිශ්‍රයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක්ද තැබුවේය.
සංචාරයේ නිරත ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි බදාදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන ආචාර මුරයේ ගෞරවාචාරයන් පුදකරනු ලබයි. ඉන් අනතුරුව, එතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ සුහද සාකච්ඡාවක නිරතවීමටත් ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවීමටත් නියමිතව ඇත.
SL Army