පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කත්මණ්ඩු හි නව විහාරස්ථානයට සමාධි බුද්ධ ප්‍රතිමාවේ අනුරුවක් පූජා කරයි

    ඔක්තෝබර් 16, 2021

    ලලිත්පූර් හි අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී අෂ්ඨ සද්ධර්මායතන් විහාරයේ මහා සංඝරත්නය වෙත අඩි පහක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2021 ඔක්තෝබර් 12 වැනි දින පැවති විශේෂ උත්සවයක දී පූජා කෙරිණි.

    පිරිත් සජ්ඣායනය කිරීමෙන් අනතුරුව තානාපති හිමාලී අරුණතිලක මැතිණිය සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් ප්‍රතිමා වහන්සේ මහා සංඝරත්නය වෙත භාර දෙන ලදි. ඉන් අනතුරුව ප්‍රතිමා වහන්සේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, තානාපති කාර්යාලයේ නිලධාරීන්, ප්‍රදේශයේ මහජන නියෝජිතවරුන්, නිලධාරීන් සහ ගිහි සැදැහැවතුන් ඇතුළු විශාල පිරිසක් පිරිවරා ගත් විචිත්‍ර පාද යාත්‍රා පෙරහැරකින් සැදැහැවතුන්ගේ ‘ග්‍යාන්මාලා’ හෙවත් බොදු බැති ගී ගායනා මධ්‍යයේ විහාරය වෙත චාරිත්‍රානුකූලව වැඩමවන ලදි. සාරවත් සංස්කෘතික උරුමයකට හිමිකම් කියන නේපාලයේ තුන්වැනි විශාලතම නගරය මෙන්ම කත්මණ්ඩු නිම්නයේ දිස්ත්‍රික්ක තුන අතරින් එකක් වන ලලිත්පූර් හි ශ්‍රී අෂ්ඨ සද්ධර්මායතන් විහාරය පිහිටා ඇත.

    විහාරස්ථානයේ පැවති චාම් උත්සවයක දී රැස්ව සිටි පිරිස ඇමතූ පූජනීය සංඝයා වහන්සේලා බුද්ධ ප්‍රතිමා පූජා කිරීමේ ආනිශංස පිළිබඳව මෙන්ම නරඹන්නා තුළ නිහඬ සමාධිය හා සාමකාමී සිතුවිලි උපදවන මුල් සමාධි ප්‍රතිමාවේ ඇති වැදගත්කම පිළිබඳව ද පැහැදිලි කළහ. එමෙන්ම අනුරාධපුර මහමෙව්නා උද්‍යානයේ ස්ථාපනය කොට ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නරඹන ලෙස ගෞරවනීය සංඝයා වහන්සේ නේපාල බැතිමතුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ. දෙරට අතර පවතින මිත්‍රත්වයේ මූලාධාරය වන නේපාලය සමඟ ගැඹුරු ලෙස මුල් බැසගත් ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සැමවිටම කටයුතු කරන බව තානාපති අරුණතිලක මැතිණිය ප්‍රකාශ කළාය.

    ශ්‍රී අෂ්ඨ සද්ධර්මායතන් විහාරයේ විහාරාධිපති පූජ්‍ය නේපාලයේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ විසින් 2020 වර්ෂයේ අග භාගයේ දී බුද්ධ ප්‍රතිමාවක් සඳහා ඉල්ලීමක් යොමු කෙරිණි. ඉන් පසුව තානාපති කාර්යාලය විසින් රත්මලානේ පිහිටි පරම ධම්ම චේතිය පිරිවෙනේ සම්බන්ධීකරණයෙන් සමාධි ඉරියව්වෙන් වැඩ සිටින අඩි පහක් උසැති ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට කටයුතු සම්පාදනය කෙරිණි. මෙම ප්‍රතිමා වහන්සේ කත්මණ්ඩු වෙත ප්‍රවාහනය කිරීමේ සැපයුම් විධි විධාන සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය විසින් පහසුකම් සලසන ලදි. වසංගත තත්ත්වය හේතුවෙන් ප්‍රතිමා වහන්සේ ස්ථාපනය කිරීමට නියමිතව තිබූ බුදු කුටිය නියමිත වේලාවට ඉදිකොට අවසන් කිරීමට නොහැකි වූ බැවින් ප්‍රතිමා වහන්සේ විහාරය වෙත භාර දීමේ කටයුත්ත ප්‍රමාද විය.

    ලුම්බිණි බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය නේපාලයේ සංකිච්ච ස්වාමීන් වහන්සේ, ශ්‍රී අෂ්ඨ සද්ධර්මායතන් විහාරයේ විහාරාධිපති පූජ්‍ය නේපාලයේ පඤ්ඤසාර ස්වාමීන් වහන්සේ, පටාන් හි ශ්‍රී සුමංගල් විහාරයේ පූජ්‍ය නේපාලයේ පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් මෙම පින්බර අවස්ථාව සඳහා සහභාගී වූහ. තවද පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ නියෝජිතවරුන් සහ නිලධාරීන්, තරුණ බෞද්ධ සංගමය ඇතුළු බෞද්ධ සංගම්වල සාමාජිකයින් සහ 300 දෙනෙකුට අධික ප්‍රදේශවාසී බැතිමතුන් පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya