මඩකලපුව, එරාවූර්, මන්මුනෙයිපට්ටු, රාජපුරම් වැනි ප්‍රදේශවල අක්කර දහස් ගණන් වී වගාව සඳහා සූදානම් කරමින් සිටින අතර තවත් අක්කර දහස් ගණනක් මේ වන විටත් වී වපුරා අවසන් කර ඇත. විශේෂයෙන් වැසි වතුරෙන් වී ගොවිතැන් කරන මඩකලපුව ගොවි ජනතාව මේ මස විසි වැනිදා වැස්ස අපේක්ෂාවෙන් අක්කර දහස් ගණනක් වගා කර ඇති බවද සදහන් කරයි.
මඩකලපුව, කොඩුවාමඩු ග්‍රාමයේ දී අප සමඟ අදහස් දැක් වූ පී. ඥාණසේකරම් ගොවිමහතා සඳහන් කළේ මෙතෙක් යූරියා භාවිතා කර ගොවිතැන් කළත් රජයේ ඉල්ලීම අනුව කාබනික පොහොර භාවිතා කර ගොවිතැන් කිරිමට තමන් හුරුවෙමින් සිටින බවය. "මේක සාර්ථක ද අසාර්ථක ද කියන්න අමාරුයි. අසාර්ථක වුනොත් රජයෙන් වන්දි ගෙවන බව කියන නිසා අපි වගා කරනවා යැයිද ඔහු සඳහන් කළේය.
රාජපුරම්හි ආර්.ඥාණරත්නම් ගොවි මහතා වැසිවතුරෙන් ගොවිතැන් කරන ගොවියෙකි. ඔහු සඳහන් කළේ විසිවනදා වැස්ස ලැබෙන බව දන්වා ඇති බැවින් සඳුදා කුඹරේ වී වැපීරීමට සුදානම් කර ඇති බවය. "අපි වසර 45 ක් විතර රසායනික පොහොර යොදා ගෙන තමයි ගොවිතැන් කළේ. දැන් රජය කියනවා කාබනික පොහොර යොදා ගෙන ගොවිතැන් කරන්න කියලා. මේක අපිට අලුත් අත්දැකීමක්. නමුත් ඒ වැඩේ හොඳ නිසා අපි කාබනික පොහොර යොදා ගොවිතැන් කරන්න කැමතියි. අපිට පොහොර නියමිත වේලාවට ලැබෙයි කියලා විශ්වාස කරනවා. පාඩුවක් වුනොත් රජයෙන් වන්දිගෙවන්න කියලත් අපි ඉල්ලනවා" යැයි ඔහු සදහන් කළේය. මේ ගොවීන් සඳහා කොම්පෝස්ට් කාබනික දියර පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර මේවන විටත් මඩකලපුව ලක්පොහොර ගබඩාවට හා ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවතින අතර, ලබන සතිය අවසානය වනවිට මඩකලපුව ගොවි ජනතාවට වී ගොවිතැනට අවශ්‍ය පොහොර සම්පූර්ණයෙන්ම ලැබෙනු ඇති බව මඩකලපුව නියෝජ්‍ය ගොවිජන සංවර්ධන කොමසාරිස් ක්‍රිෂ්ණන් ජහන්නාත් මහතා කීවේය.