එහිදී අමාත්‍යවරයා එම ව්‍යාපෘතියෙහි වර්තමාන තත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් තොරතුරු සොයා බැලූ අතර ඉදිරියේදී සිදුවිය යුතු වැඩ කටයුතු සම්බන්ධයෙන් විමසීමක් කළේය.
අභියෝග මධ්‍යයේ වුවද ආයෝජන මෙන්ම විනෝදාස්වාදය ලබාදෙන ජාත්‍යන්තර මට්ටමේ ගමනාන්තයක් ලෙස අපේ සැබෑ හැකියාවන් සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව නිවැරදි මාවතේ ගමන් කරමින් සිටින අතර වර්තමාන අභියෝග ජයගෙන විශ්වාසයෙන් නැගී සිටිය හැකි ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙම ව්‍යාපෘතිය තුළින් හැකිවනු ඇති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
වරාය නගර ව්‍යාපෘතිය අපේ රටේ වේගවත් සංවර්ධනය සඳහා උත්තේජනයත් ලෙස අපේක්ෂා කල හැකි බහුවිධ සංවර්ධන ව්‍යාපෘතියක් බවත් කොවිඩ් 19 වසංගත තත්වය තුළ ද පාලම්, ජලමාර්ග, උද්‍යාන ආදී සියලු වැඩ සංවර්ධන කටයුතු නොනවත්වා සිදු කිරිම සතුටට කරුණක් බවත්, වරාය නගර සංවර්ධන ව්‍යාපෘති කළමණාකරන නිලධාරීන් මේ දක්වා ව්‍යාපෘතියෙහි ලබා ඇති ප්‍රගතිය සහ අනාගත සංවර්ධන සැලැස්ම පිළිබඳව විස්තර කරමින් අවශ්‍ය සියළු නීති සහ රෙගුලාසි කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද ඔවුන් අවධාරණය කල බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට CHECC PORT CITY COLOMBO (PVT) LTD ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක Yung Lu, සහකාර කළමණාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ, එහි මෙරට වෙළද සහ ආයෝජන කළමණාකරු රන්දික ඇල්ලේපොල, කළමණාකරු චතුර කබ්රාල්, අධිකරණ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග යන මහත්වරුන් ඇතුළු අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගි විය.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු ශ්‍රී ලංකාවේ අගනුවර ඉදිකරන ලද නවතම නගර සංවර්ධනයකි. මුහුදෙන් ගොඩකරගත් හෙක්ටයාර 269ක භූමි භාගයක ඉදි වන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ මුල්ම නේවාසික ව්‍යාපාරික ගමනාන්තය වනු ඇති අතර එය ඉන්දියන් සාගරය ආශ්‍රිතව පිහිටි නවීනතම සැලසුම් සහගත නගරය වෙයි. මෙම සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රධාන පරිශ්‍ර පහකින් සමන්විත වේ.