අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මල්, පහන්, සුවඳ දුම් පූජාකිරීමෙන් අනතුරුව ධර්ම දේශනාව සඳහා වැඩම කළ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය සහ ඉත්තදෙමලිය පුරාණ විහාරය යන උභය විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ඉත්තදෙමලියේ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති ඉන්දසර නාහිමියන්ට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළාය.
ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා ඇරඹි “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව අඛණ්ඩව සෑම පුන් පොහෝ දිනකම පවත්වන්නට යෙදීමෙන් රාජ්‍ය නායකයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට සේවාවක් රට වෙනුවෙන් ඉටුකර ඇති බව ඉත්තදෙමලියේ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්දජෝති ඉන්දසර නාහිමියෝ පෙන්වා දුන්හ.
වසර 24 කට පෙර වප්පුර පසලොස්වක පොහෝ දිනක කොළඹ කොටුව ගලදාරී හෝටලය අසල එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් බෝම්බයක් පුපුරවා හරිමින් කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අපවත්වී වදාල කොටුව සම්බුද්ධාලෝක නාහිමියන්ගේ සුවදුක් විමසීමට එදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ මොහොතේම රෝහලට පැමිණි අයුරු දේශකයාණන් වහන්සේ සිහිපත් කළහ.
“එදා ඒ අද්දැකීම සමඟ කොටුවේ විහාරස්ථානය හැටියට අපිට විනාශකාරී තත්ත්වයන් රාශියකට මුහුණ පාන්න සිද්ධ වුණා. ටෙලිකොම් ආයතනයේ බෝම්බයක් පිපුරුණා, පිටකොටුව බෝධිය ළඟ බෝම්බයක් පිපිරුණා, මහ බැංකුව ළග බෝම්බයක් පිපුරුණා, අපේ පන්සල ඉදිරිපිට බෝම්බයක් පිපිරුවා, ඒවගේම එල්.ටී.ටී.ඊ අයගේ කුරුම්බැට්ටි කියන හෙලිකොප්ටර ඇවිල් එදා ගුවන් හමුදාවට ගහන්න ඇවිල්ල ඒක මහා විනාශයක් වුණා. මේ වෙච්ච හැම විනාශයකදීම අපිත් ඒ අනතුරුවලට මුහුණ පෑවා අපේ විහාරස්ථානයටත් විවිධ විදිහේ අනතුරු සිද්ධ වුණා. ඒ නිසා මේ රටේ සිටින ස්වාමීන්වහන්සේලා අතර මේ කුරිරු ත්‍රස්තවාදයේ අද්දැකීම් වැඩිපුරම තියෙන ස්වාමීන් වහන්සේ නමක් මම. අද ඒ බෝම්බ පුපුරණ පසුබිමක් නැහැ.
ඔබතුමා පස්වෙනි විධායක ජනාධිපතිතුමා හැටියට පත්වුණු පත්වීම මා කල්පනා කරනවා තවත් ඉක්මන් වුණානම් අපි මෙච්චර අනතුරුවලට මුහුණ පාන්නේ නැහැ කියල විශ්වාසයි.එදා ඔබතුමා හිටියනම් අපේ නායක හාමුදුරුවෝ අදත් ඉන්නවා.“ යැයිද උන්වහන්සේ සදහන් කළහ.
ධර්මදේශනය අවසානයේ දී දේශකයාණන් වහන්සේට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් අෂ්ඨපරිෂ්කාර පූජා කරනු ලැබුවාය. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සැකසූ සුවිශේෂී සිහිවටනයක් ද උන්වහන්සේ ට පිළිගැන්නුවාය.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.