අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ප්‍රමිතියෙන් අඩු මෙම කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල් කිරීම වළක්වන ලෙස දැනටමත් වරාය අධිකාරියේ සභාපති නිහාල් කැප්පෙටිපොළ මහතා දැනුම් දී ඇති අතර ඒ නිසා එම නෞකාව වරාය තුළට ඇතුල් කිරීම දැනටමත් නවත්වා ඇතැයිද ඔහු සදහන් කළේය.
මෙම කාබනික ගොවිතැන හා හරිත කෘෂිකර්මාන්තය පිළිබද ජනාධිපතිතුමා සහ රජය ගත් යෝජනාව මෙරට උපනූපන් පරම්පරාව පිළිබදව හා ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබදව ගත් වැදගත් තීන්දුවක් බව සදහන් කරමින් ඔහු කියා සිටියේ එම යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යකාලීන සහ කෙටිකාලීන ගැටලු ඇතිවී ඇතැයි පිළිගන්නා බවයි.
එම ගැටලු විසදීමට රජය උපරිමයෙන් මැදිහත් වන බවද දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනයට රාජ්‍ය සහ පෞද්ගලික අංශ මැදිහත්ව කටයුතු කරන අතර කෙටි කාලසීමාව තුළ මෙම පොහොර හිගයෙන් යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් රජය අස්වනු අඩුවීමට වන්දි ගෙවන බවට ප්‍රකාශ කර ඇතැයිද ඔහු කියා සිටියේය.
දැනටමත් දිස්ත්‍රික්ක විශාල ප්‍රමාණයක පොහොර බෙදාදීමේ ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදුවන බවද නයිට්‍රජන් පෝෂක ලෙස ලබාදීමට බලාපොරොත්තු වූ කාබනික පොහොර වල ප්‍රමිතිය අඩුවීමේ ගැටලුව මතුවූ නිසා රජයට ඒවා ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ බවද අමාත්‍යවරයා සදහන් කළේය.
ඒ හේතුවෙන් හදිසි මිලදීගැනීමක් ලෙස ගොවිජනතාව මුහුණදෙන ගැටලුව පිළිබදව අවධානය යොමු කර මෙම දියර නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමට කටයුතු කළ අතර එහිදී කිසිදු වංචාවක් සිදුව නැතැයිද ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන අතර මෙම දියර පොහොර වල මිල පිළිබදවද ඉදිරියේදී ඉතාම විනිවිද සුළු ස්වභාවයෙන් සියලු කරුණු රටට හෙළිකරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය රටට අවශ්‍ය ප්‍රමාණයට ළගාවන තෙක් තේ කර්මාන්තය සදහා අවශ්‍ය යම් නයිට්‍රජන් ප්‍රභවයක් රටට ආනයනයට තීන්දු කර ඇතැයිද ඒ සදහා දැනටමත් ඇනවුම් ලබාදී ඇති අතර එම පොහොර නොවැම්බර් මස අවසානය වන විට රටට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු කියා සිටියේය.
මෙය රටේ සියලුදෙනාගේම සෞඛ්‍ය යහපත වෙනුවෙන් ගත් තීරණයක් වන බැවින් එම තීන්දුවට අනුගතව කටයුතු කරන ලෙස ගොවිජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසුවේය.