පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වෙති

    ඔක්තෝබර් 28, 2021

    මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකය වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද , දර්ශන විශාරද, ආචාර්ය, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වෙති.

    1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූ සේක.

    නිර්මල සර්වඥ ධාතූන්වහන්සේලා වැඩ සිටින පෑලියගොඩ විද්‍යාලංකාරය පින්බිමේ පැවති අසිරිමත් ධර්ම සංගායනාව සියසින් දැක ගැනීමේ වරම් හිමි කරගත් මේ කුලකුමරු 1954 ජනවාරි මස 07 වන දින තවත් තරුණයන් 9 දෙනෙකු සමඟ එවකට පරිවේනාධිපති වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි කරන ලදී.

    එම කාලයේ දී තරුණ කුසලධම්ම හිමියන්ට විද්‍යාලංකාර සම්ප්‍රදාය, භික්‍ෂු ආකල්ප හා ධර්ම ඥානය ලබා ගැනීමට යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ගෙන් ලැබුනේ විශාල පිටුවහලකි. නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු ස්‍යාමොපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යත උපසම්පදාව ලබා ගත් කුසලධම්ම හිමියෝ 60 වැනි දශකය මුල් භාගයේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගත්හ. විද්‍යාලංකාර පරිවේනාධිපතිත්වයට පත් නාහිමියන් එතැන් සිට අද දක්වා අපවත් වන තුරු ම සිදු කළ අසදෘෂ මහා සේවාව මෙරට ශාසනයට සිදු කළහ.

    විචිත්‍ර ධර්ම කථිකත්වයකින් හෙබි අපේ නායක හිමි දිවයිනේ සතර දිග්භාගයෙන් ලැබෙන ධර්ම දේශනා සඳහා ආරාධනා පිළිගෙන ඒවාට වැඩම කරන ලද්දේ ඉතා සංතෘප්තියෙනි. කවදත් කොතැනත් උන්වහන්සේගේ සිනහ මුසු මුහුණ වියතුන් සබා මැද බැබළුණි.
    තමාට ලැබෙන සෑම දෙයක් ම අනුන්ට පරිත්‍යාග කරමින්, තමා හමුවට පැමිණෙන සෑම දෙනාටම ඉහළම ආකාරයෙන් ආගන්තුක සත්කාර සිදු කරමින් චාම් ජීවිතයක් ගත කළ නාහිමියන්ගේ හදවත අනුන්ගේ දුකේ දී උණුවන, කරුණා ගුණයෙන් පිරුණකි. මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නාහිමිපාණෝ, බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් ද පුද ලැබූහ.
    කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ද සම්මානිත වූ නාහිමිපාණෝ තමාට කෙතරම් තනතුරු ලැබුන ද ඒ සියල්ලට වඩා බුදුරාජාණන් වහන්සේට තිබූ ශ්‍රද්ධාව මුල් කොට සිය දිවිය ගත කළහ. සෑම මසක ම අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීම වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දිවියේ සිරිතක් විය.

    එවන් වූ අපරිමිත ගුණ සමුදායකින් හෙබි ව ශ්‍රී ලංකා ශාසන භාර මහ තෙර නමක් ලෙසින් වැඩ සිටි අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණයෙන් නිවී සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු.

    මේ සම්බන්ධව රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශයක් කළ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පැක්ට්‍රික් රත්නායක මහතා,උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව කීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya