2025 වන විට මෙරට සෑම ජනතාවටම පිරිසිදු පානීය ජලය ලබා දීම අරමුණු කරමින් රජය විසින් දිවයින පුරා විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරමින් තිබේ. එහි එක් ප්‍රතිඵලයක් ලෙස උතුරු කරයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම වෙනුවෙන් ලවණ ජලය පිරිපහදු කර ලබා දීමේ ව්‍යාපෘතියක් මෙන්ම නාගදීපයේ මුහුදු ජල පවිත්‍රාගාරයක් ඉදි කර ජනතා අයිතියට පත් කිරීම ද පසුගිය දිනෙක දී සිදු විය.
වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව මෙරට සියලු ජනතාවට ජලය ලබා දීමට අවශ්‍ය සියලු වැඩපිළිවෙලවල සකස් කොට ඇති අතර ඒ සදහා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය යන ආයතන එකට එක්ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව ඉලක්ක ගත වැඩසටහන් රැසක් සිදු කරමින් තිබෙන බවත්, එහි කඩිනම් වැඩසටහන් ලෙස වකුගඩු රෝගය ඉතාමත් දරුණුවට තිබෙන ප්‍රදේශ වල ජල අවශ්‍යතා හඳුනාගෙන ඒ ඒ ප්‍රදේශ වලට නැනෝ තාක්ෂණික ජල පවිත්‍රාගාර ලබා දීමට කටයුතු කරන බවටත්, එම වැඩසටහන් වල මධ්‍යකාලීන වැඩසටහන් ලෙස ප්‍රදේශ වල තිබෙන ජල උල්පත් හඳුනාගෙන පිරිපහදු කර සාමාන්‍ය ආකාරයට ජනතාවට ජලය ලබා දීමට කටයුතු කරන බවත්, දීර්ඝ කාලීන වැඩසටහන් ලෙස පිරිසිදු ජලය අධිතාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් සුපිරිසිදු ජලය ලෙස ජනතාවට ලබා දීමට කටයුතු කරන බවත් මෙහි දී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසිය.
එමෙන්ම, යාපනය ජනතාවට ජලය ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇතැමුන් විසින් එය වැළක්වීමට ද කටයුතු කළ බවත්, එහෙත් ජලය ලබා දීමේ දී ජාතිය ආගම, පක්ෂ පාට වෙනුවෙන් ජනතාව වෙන් කල නොහැකි බවත්, මෙරට ජිවත් වන සියලු ජනතාවගේ ජල අවශ්‍යතාවය පොදු කරුණක් බවත් මෙහි දී අමාත්‍යවරයා කියා සිටි අතර මේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමට ද සිදු ව ඇති නමුත් රජයක් ලෙස කුමන අභියෝගය පැමිණිය ද මෙරට සියලු ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා දීමට කටයුතු කරන බව හෙතම පවසන ලදුව දුෂ්කර ප්‍රදේශ වලට ද ජලය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත්, එමෙන්ම මෙරට සනීපාරක්ෂක වැසිකිළියක් නොමැති පවුල් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල තිබෙන බව හඳුනාගෙන ඇති අතර රජය විසින් ඊට ද විසඳුම් ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.