පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නාගදීපය ඇතුළු දූපත් 3ක පවුල් 3000කට පිරිසිදු පානීය ජලය

    ඔක්තෝබර් 30, 2021

    නාගදීපය ඇතුළු දූපත් 3ක පවුල් 3000කට පිරිසිදු පානීය ජලය:

    යාපනයේ ජල නළ පද්ධතිය හා මුහුදු ජල පවිත්‍රාගාරය ඉදිකිරීම ඇරඹෙයි

    උතුරේ ජනතාව වසර ගණනාවක් පුරා මුහුණ දුන් පානීය ජල ගැටළුවට විසඳුමක් වශයෙන් මුහුදු ජලයෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ ව්‍යාපෘතිය කටයුතු ආරම්භ කිරීම හා නාගදීප ජල පවිත්‍රාගාරය ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු කළ බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.


    මෙතෙක් යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සියයට 14කට හා යාපනය නගරයේ සියයට 4කට පමණක් සීමා වී පැවති ජල සැපයුම වෙනුවට මෙම ව්‍යාපෘතිය නිසා යාපනයේ සියලුම ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබෙන බවත් නාගදීපය ඇතුළු දූපත් 3ක ජනතාව වෙනුවෙන් ඉදිකළ ජල පවිත්‍රාගාරය ජනතා අයිතියට පැවරීමෙන් පවුල් 3000ක ජනතාවට පිරිසිදු පානීය ජලය හිමිවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ ''උතුරේ පිපාසයට තිත''මැයෙන් (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    නාගදීපය ජල පවිත්‍රාගාරයෙන් මුහුදු ජලය පිරිසිදු පානීය ජලය බවට පත් කිරීම සඳහා ජලය කියුබික් මීටර් 01කට එනම් ජලය ලීටර් 1000කට රුපියල් 120ක මුදලක් වැය වේ. නමුත් එම පිරිසිදු ජලය ජනතාව වෙත ලබා දෙන්නේ ජලය කියුබික් මීටර් 01 රුපියල් 10ක් වැනි මුදලකටය. කෙසේ වෙතත් ඉරණමඩු ජලාශයෙන් ජලය ලබා ගෙන උතුරේ ජනතාව වෙත ලබා දීමට හැකි වූවා නම් මීට අඩු මුදලකට පිරිසිදු පානීය ජලය ලබා දෙන්නට පිළිවන් වුවද ඒ සඳහා විවිධ දේශපාලන කණ්ඩායම් කළ බාධා කිරීම් හේතුවෙන් මුහුදු ජලය පවිත්‍ර කිරීමට සිදු වූ හෙයින් වැඩි මුදලක් වැය කිරීමට සිදු වූ බව අමත්‍යවරයා පැවසීය.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව''2025 දී සැමට පානීය ජලය'' ලබාදීමේ ප්‍රතිපත්තියේ තවත් එක් වැඩපිළිවෙලක් ලෙස උතුරේ ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතිය හඳුන්වා දිය හැක. මෙරට සියයට 46.6ක ජනතාවකට අහිමිව පැවැති පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය ඉදිරි වසර 3 ඇතුළත ලබා දීම සම්පූර්ණ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මේ සඳහා ජලසම්පාදන අමාත්‍යංශය විසින් ඉලක්ක ගත වැඩපිළිවෙලක් අනුගමනය කරමින් පිරිසිදු පානීය ජල අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීම සිදු කරයි. මෙම අවශ්‍යතා සඳහා කඩිනම් විසඳුම්, මධ්‍ය කාලීන විසඳුම් හා දීර්ඝ කාලීන විසඳුම් වශයෙන් හඳුනා ගෙන විසඳුම් ලබා දීම ක්‍රියාත්මක කෙරේ. උතුරු මැද පළාත වැනි ජලය නිසා ජනතාව මුහුණ දෙන ගැටලුවලට නැනෝ තාක්ෂණය භාවිතා කරමින් පිරිසිදු පානීය ජලය ලබා දිම කඩිනම් විසඳුම් ලෙස ක්‍රියාත්මක කෙරේ. මධ්‍ය කාලීන විසඳුම් ලෙස ප්‍රදේශවල පවතින ජල උල්පත්, ජලාශ, ඇල දොළ හා ගංගාවල ජලය පිරිසිදු කර ජනතාවට ලබා දෙයි. මේ සියලු ක්‍රියාවන් සාර්ථක කර ගැනීම සඳහා ජලසම්පාදන මණ්ඩලය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව හා ජල සම්පත් මණ්ඩලය යන ආයතනවල සහයෝගය ජලසම්පාදන අමාත්‍යංශය වෙත ලැබෙන බව සනත් නිශාන්ත අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    මීට අමතරව දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ද පිරිසිදු ජලය ලබා දීමට කටයුතු කරගෙන යනවා, ඇතැම් මාධ්‍ය ආයතන විසින් මෙම ක්‍රියාවන් සඳහා ජනතාව කුලප්පු කරමින් මතවාද ඇති කරන්නට උත්සාහ කරනවා. කෙසේ වුවද හඳුනාගත් ප්‍රජා ජල සමිති 4332ක් ජාලගත කරමින් ඔවුන්ගේ ප්‍රදේශවල ඇති ජල ගැටලු වලට විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙලක් දැන් ආරම්භ කර තියෙනවා බවත් ඉදිරි වසර 03 ඇතුළත සියලු ජල අවශ්‍යතා සම්පූර්ණ කරමින් වසර 2025 දී සැමට ජලය ලබා දීමට තම අමාත්‍යංශය කැපවීමෙන් කටයුතු කරන බව සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya