පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ සහතිකය අනිවාර්යයි - කැනේඩියානු මහ කොමසාරිස්

    නොවැම්බර් 05, 2021

     එය ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අධ්‍යයනයක - මෙරට සෞඛ්‍ය ඇමති
     ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළිවෙල ලෝකයටම ආදර්ශයක් - ලෝක සෞඛ්‍ය සංවිධානයේමෙරට නියෝජිත

    කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇතැයි කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් (David Mckinnon) මහතා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවේ (4) පැවසීය.

    මෙම අනිවාර්ය කිරීම හරහා ව්‍යසනයෙන් තමන් ආරක්ෂා වන අතරම අනෙක් පුද්ගලයන්ටද එය පැතිරීම වළක්වා ගැනීමට යහපත් පියවරක් වී ඇතැයි මහ කොමසාරිස්වරයා කීය. කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකින් ( David Mckinnon) මහතා (4) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වූයේය.

    මෙම හමුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මියද එක්ව සිටියාය. මෙහිදී මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක්ද ලෝක සෞඛ්‍ය සංවිධානය හා කැනේඩියානු රජය එක්ව පරිත්‍යාග කිරීම සිදු විය.

    “බූස්ටර්” එන්නත මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කිරීම ඉතා සාධනීය පියවරක් බවත් එය ඉදිරියේදී අනෙකතුත් කණ්ඩායම් වලටද ලබා දෙන්නේ නම් වඩා වැදගත් වනු ඇති බවත් කැනේඩියානු මහ කොමසාරිස්වරයා කීය. ශ්‍රී ලංකාව එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා යහපත් අයුරින් කළමණාකරණය කරමින් ඉතා සාර්ථක මට්ටමක පවත්වා ගෙන යාමට හැකි වී ඇතැයිද කැනේඩියානු මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් කීය.

    මෙහිදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය,
    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරුණු ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළීවෙල අතිශය සාර්ථක බවත් එහි ආදර්ශය ලෝකයට ගෙන යා හැකි බවත් පෙන්වා දුන්නාය. කොවිඩ් ව්‍යසනයට පමණක් නොව අනෙකුත් රෝගී තත්ත්වයන් සඳහාද මෙවැනි ප්‍රතිකාර වැඩපිළිවෙලක් ආරම්භ කිරීම ඉතා වැදගත් බවද එමගින් රෝහල්හි පවතින අනවශ්‍ය තදබදය අවම කිරීමට හැකි වනු බවද සිං මහත්මිය පෙන්වා දුන්නාය.

    මෙම හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, කොවිඩ් වසංගතය තුළ රෝගයෙන් ආරක්ෂා වීම තමන් සතු වගකීමක් වන අතරම එය තවත් පුද්ගලයෙකු කරා පැතිරවීම වළක්වාලීමේ වගකීමද ඔහු සතු
    වන බවත් එවැනි පසුබිමක් තුළ පොදු ස්ථානයන්හිදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ඉතා යහපත් තත්ත්වයක් බවත් පෙන්වා දුන්නේය.

    මේ වන විට යුරෝපානු රටවල් ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල ඉතා යහපත් තත්ත්වයක පවතින බවත් ශ්‍රී ලංකාවේද එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි අධ්‍යයනයක යෙදෙන බවත් රඹුක්වැල්ල මහතා කීය.

    විශේෂයෙන් මෙරට ක්‍රියාත්මක කෙරෙන ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළීවෙල ලැබූ ඉහළ සාර්ථකත්වයට ලෝක සෞඛ්‍ය සංවිධානයටද ප්‍රණාමය හිමිවිය යුතු යැයිද ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ මෙන්ම සෞඛ්‍ය සේවාවේ බොහෝ පිරිස් දැඩි කැපකිරීමකින් ක්‍රියා කළේ යැයිද සෞඛ්‍ය අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya