පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රතිඥා දුන් විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරනවා- ජනපති අවධාරණය කරයි

    නොවැම්බර් 06, 2021

     Ø රජය කෙරෙහි විශ්වාස තබා තරුණයන් ඉදිරියට එන්න ...

    Ø කාබනික වගාව සඳහා වූ දැවැන්ත වෙනස වෙනුවෙන්
    ගොවි බිමට යන්න ....

    ජනපතිගෙන් ඉල්ලීමක් ...

    වැඩ නිම කළ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයිතියට ...

     

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළ විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසකි. එය සිදු කිරීමේ දී අපහසුතා සහ බාධකවලට මුහුණදීමට සිදු වේ. එහෙත් එම අභියෝගය ජය ගැනීමට කැපවීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    වැඩ නිම කළ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් මණ්ඩාඩුව මහජන ක්‍රීඩාංගණයේ අද (06) පස්වරුවේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    ලෝකයේ සෙසු රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද කොවිඩ් වසංගතයට මුහුණ දීමට සිදු විය. වැටී තිබූ ආර්ථිකයක් හමුවේ හඳුනා නොගත් වසංගතයක් සමග දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් ජනතාවගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් සැලසුම් රැසක් ක්‍රියාත්මක කෙරිණ. එහිදී තමා දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කිරීමට නොහැකි විය. එහෙත් එහි කිසිඳු අඩුවක් නොතබා ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටිණ. ඉන් අහිමි වූ ඝෘජු සහ වක්‍ර රැකියා සංඛ්‍යාව මිලියන 03කට ආසන්න වේ. එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසකට විදේශ රැකියා අවස්ථා අහිමි වූ අතර ඉහළම සිට පහළම ව්‍යාපාරිකයා දක්වා සියලුදෙනාගේ ආර්ථිකයට බාධා එල්ල විය. මේ සමග ඇති වූ දැවැන්ත ආර්ථික බිඳ වැටීම මත වුවද සංවර්ධන වැඩකටයුතු අඛණ්ඩව සිදු කළේය. සියලුම රාජ්‍ය සේවකයින්ට නියමිත දිනට වැටුප් ගෙවනු ලැබිණ. ඩොලර් මිලියන 04ක් වූ විදේශ ණය වාරික නියමිත පරිදි ගෙවීමට පියවර ගත්තේය. කොවිඩ් රෝගී පවුල් වෙනුවෙන් සහ නිරෝධායනයට ලක් වූ සියලුදෙනා වෙනුවෙන් ආධාර මුදල් සැපයීය. වීවලට සහතික මිලක් ලබාදීමට කටයුතු කෙරිණ. මේ සියල්ල සිදු කිරීමට වූයේ දැවැන්ත ආර්ථික අර්බුද හමුවේ බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    කාබනික වගාව මෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා වූ වෙනස ඉටු කිරීමට කිසි විටෙකත් පසුනොබසින බවද ජනාධිපතිතුමා පැවසීය.

    මුං, කව්පි, උදු, කහ ඇතුළු බෝග 16 ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කෙරිණ. අද එහි ප්‍රතිඵල ගොවීහු භූක්තිවිඳිමින් සිටිති. කුරුඳු, ගම්මිරිස්, කහ සඳහා ඉහළ මිලක් ගොවියාට ලැබෙමින් පවතී. ගොවියාගේ අතට ලැබෙන එම ආදායම අඩු නොකිරීමටත්, පාරිභෝගිකයාව ආරක්ෂා කිරිමටත් පියවර ගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    මෙම තත්ත්වය අවබෝධ කරගෙන හරිත කෘෂි අභියෝගය ජය ගැනීමට එක්වන්නැයි සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී ජනාධිපතිතුමා ගොවීන්ට හෝ ජනතාවට බලපෑම් කර එම වෙනස සිදු කිරීමට තමා අපේක්ෂා නොකරන බව ද කීය.

    තමා බලයට පත්වීමත් සමග තරුණයන් තාප්පවල චිත්‍ර ඇඳ වෙනසට මුලපිරිය. තවත් පිරිසක් පුරන් කුඹුරු අස්වැද්දූහ. එදා තැබූ විශ්වාසය සමග විප්ලවීය වෙනස වෙනුවෙන් යළි ඉදිරියට පැමිණෙන ලෙස ජනාධිපතිතුමා මේ සියලුදෙනාට ආරාධනා කළේය.

    “සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිවයින පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ. ඒ යටතේ වැඩ නිමකළ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයිතියට පත්කිරීම සනිටුහන් කරමින් මීගස්ආර, කුඩාබුබුල, කපුවත්ත මාර්ගය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කළේය.

    කොවිඩ් වසංගතය හමුවේ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ නවතා දැමුවේනම් අද මෙලෙස මාර්ග 1500ක් විවෘත කිරීමට නොහැකි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. මාර්ග කි.මි. ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ දී ග්‍රාමීය හා වතු මාර්ග සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇතැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා රට ගොඩනැගීමට ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය විය යුතු බව පැවසීය.

    මාර්ග සංවර්ධනයට සමගාමීව ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගාසිටුවිය හැකි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනු ලැබිණ.

    මෙහිදී උත්සව සභාව ඇමතූ මහාමාර්ග අමාත්‍යවරයා කුලුණු මතින් ඉදිවන කැලණිය නව ගුවන් පාලම සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර මේ වසර අවසන් වන විට ජනතා අයිතියට පත් කරන බව සඳහන් කළේය.

    මෙ රට සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුව ඩොලර් මිලියන 500ක සහනදායී මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති, හාට්ව්ග් ෂෙෆර් මහතා විසින් සඳහන් කරනු ලැබිණ.

    කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනතා නියෝජිතයෝ, ලෝක බැංකුවේ විදේශ නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya