පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ දඹුල්ල වීර මොහාන් ජයමහ විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

    නොවැම්බර් 07, 2021

    නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද මධ්‍යම පාළාතේ දඹුල්ල, ගලේවෙල වීර මොහාන් ජයමහ මහා විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කිරීම උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 05 වන දින සිදු කෙරිණි.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව දිවයිනේ අඩු පහසුකම් සහිත තෝරාගත් පාසල් සංවර්ධනය කර රටේ අනාගත දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දිනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් සෑම නාවික විධානයක් තුළම අඩු පහසුකම් සහිත පාසල් සංවර්ධනය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සංකල්පයක් මත 2021 අප්‍රේල් මස 19 වන දින ආරම්භ කෙරිණි.

    ඒ අනුව, මෙම සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ උතුරු මැද නාවික විධානය මඟින් වීර මොහාන් ජයමහ විද්‍යාලයේ සියළුම ගොඩනැඟිලි අළුත්වැඩියා කර තීන්න ආලේප කිරීම, සිසු දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍යව පැවති විද්‍යාලයේ පැති බැම්ම සාදා නිමකිරීම, සිසු සිසුවියන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයිමේ අරමුණින් එම පාසල තුළ නවීන මට්ටමේ පැසිපන්දු ක්‍රීඩා පිටියක් ඉදිකිරීම මෙන්ම විද්‍යාල භූමියේ අලංකරණය ඉතා ආකර්ශනීය ලෙස නිම කිරීම ද නාවික හමුදා දායකත්වයෙන් සිදු කෙරිණි.

    එමෙන්ම, උතුරු මැද නාවික විධානය මඟින් සංවර්ධනය කෙරුණු මෙම පාසලේ සංවර්ධන කටයුතු සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවේදී වසරේ දක්ෂතම සිසුවාට හිමි රියර් අද්මිරල් මෝහාන් ජයමහ අණුස්මරණ කුසලානය සහ නාවික හමුදාව වෙතින් ලබා දෙන ලද මුදල් ත්‍යාගය ජානකී අනුරාධා සිසුවිය වෙත පිරිනැමීම ද මෙහිදී උතුරු මැද නාවික විධානයේ ආඥාපති විසින් සිදු කෙරිණි.

    මෙහිදී අදහස් දැක් වූ ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සුජීවා වීරසුන්දර මහත්මිය සහ විද්‍යාලයේ විදුහල්පති යුඑස්ඒ බණ්ඩාර ලීලාරත්න මහතා, නාවික හමුදාව 70 වන සංවත්සරය වෙනුවෙන් වීර මොහාන් ජයමහ විද්‍යාලයේ සිදු කළ සංවර්ධන කටයුතු අගය කරමින් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසාව පුද කළ අතර, එම විද්‍යාලයේ සිදු කළ සංවර්ධන කටයුතු සහ පුළුල් කළ යටිතල පහසුකම් ගලේවෙල අධ්‍යාපන කළාපය ලද සුවිශාල ජයග්‍රහණයක් බවද ප්‍රකාශ කරන ලදී.

    තවද, සියළුම නාවික පුද්ගලයින් ස්ව කැමැත්තෙන් සිය මාසික වේතනයෙන් සිදු කළ මූල්‍ය දායකත්වය මත සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් මෙම සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ මේ වන විට බටහිර, නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ ගිනිකොන නාවික විධානයන් මගින් පහසුකම් සංවර්ධනය කළ දිවයිනේ අඩු පහසුකම් සහිත පාසැල් හයක් (06) සිසු අයිතියට පත් කර ඇති අතර, දකුණු නාවික විධානය මඟින් පහසුකම් සංවර්ධනය කෙරෙන පාසැල් දෙකක් (02) නුදුරේදී සිසු අයිතියට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කෙරෙමින් පවතී.

     

    පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති දඹුල්ල වීර මොහාන් ජයමහ විද්‍යාලයේ සංවර්ධනය කරන ලද පහසුකම් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සුජීවා වීරසුන්දර මහත්මිය, දඹුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ අයිඩබ්කේ රණතුංග මෙනවිය, සේවා වනිතා විධායක කමිටු සාමාජිකා හා උතුරු මැද නාවික විධානයේ ආඥාපතිගේ බිරිඳ ජානකි සේනාරත්න මහත්මිය, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නිලන්ත හේවාවිතාරණ මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් රෝහාන් දිසානායක මහතා, වීර මොහාන් ජයමහ මහා විද්‍යාලයේ විදුහල්පති යුඑස්ඒ බණ්ඩාර ලීලාරත්න මහතා ඇතුළු එම විද්‍යාලයේ ගුරුභවතුන්, සිසු දරුවන් මෙන්ම විධානයේ නාවික පුද්ගලයින් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya