පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ණය ගැනීමේ සීමාව වැඩි කිරීමට සංශෝධනයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට

    නොවැම්බර් 09, 2021

    ණය ගැනීමේ සීමාව වැඩි කිරීමට සංශෝධනයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කෙරේ.

    ණය ගැනුම් සීමාව වැඩි කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2020 අංක 07 දරන විසර්ජන පනත සඳහා වූ සං‍‍ශෝධනයට පසුගියදා සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙබි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

    එමඟින් අදාළ පනතේ 02 වන වගන්තිය සංශෝධනය කෙරෙන අතර එයින් මෙතෙක් රු.බි. 2997ක් ව පැවති ණය ගැනුම් සීමාව රු.බි. 3397 දක්වා ඉහළ දැමීම සිදු කෙරෙනු ඇතැයි පසුගියදා මාර්ගගත ක්‍රමයට පැවති පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විණි.

    මේ සම්බන්ධව පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පෙන්වා දුන්නේ, ණය ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා විසර්ජන පනතට සංශෝධනයක් අවශ්‍ය වූයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා රටේ උද්ගත වූ ආර්ථික පසුබෑමෙන් 2021 වසර සඳහා අපේක්ෂිත ආදායම ලබාගැනීමට නොහැකි වීම, පරිපූරක වියදම් ඉහළ යාම, විදේශ මුදලින් සිදු කළ යුතු ණය සේවා ගෙවීම් වලට මුදල් සැපයීමේදී රුපියල අවප්‍රමාණය වීම නිසා වූ බලපෑම ආදී හේතු මත බවයි.

    එසේම, පරිපූරක වියදම් ඉහළ යාමට කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඉහළ ගිය සුබසාධන වියදම් හේතුවූ බව පෙන්වා දුන් ආටිගල මහතා එම වියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් රු. බි. 200 ක මුදලක් පසුගිය කාල සීමාව තුළ අනුමත කළ බව පැවසීය.

    මෙම පනත් සංශෝධනයට අමතරව 2021.09.27 දින ගත් කබිනට් තීරණයට අනුව, 1969 අංක 01 දරන ආනයන අපනයන (පාලන) පනත යටතේ 2020 ඔක්තෝම්බර් 29 වන දින පටන් ක්‍රියාත්මක වූ  සුදු සීනි සඳහා වූ බලපත්‍ර ක්‍රමය ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ගැසට් පත්‍රයටද මෙම රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිණි.

    මෙහිදී සීනි සම්බන්ධව රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පැහැදිලි කර ගැනීම පිණිස ඒ් සම්බන්ධව වෝහාරික වාර්තාවක අවශ්‍යතාව මෙම කාරක සභාව හමුවේ තමන් කිහිපවරක් අවධාරණය කළ බව  ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.

    මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ, නුදුරේදීම රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් එය ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධව දීර්ඝ ලෙස සංවාදය‍ක නිරත වීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට හැකියාවක් ඇති බවයි.

    පසුගියදා මාර්ගගත ක්‍රමයට පැවති පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු සුසිල් ප්‍රෙම්ජයන්ත,ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන් මෙන්ම රජයේ උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya