PCR කට්ටල මිලදී ගැනීමේ දී සිදුව ඇති අක්‍රමිකතාවයක් පිළිබඳ ජාතික මාධ්‍ය පුවත්පත් කිහිපයක පුවත් පලව තිබෙනු දක්නට ලැබිණි. එහි දක්වා තිබුණු මිලදී ගැනීම් බොහොමයක් අප රාජ්‍ය අමාත්‍යාංශය පිහිට වූ 2020 අගෝස්තු මසට පෙර ගනු ලැබූ තීරණ වුවද ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් ලබා දීම වගකීමක් ලෙස සලකන බැවින් පහත පැහැදිළි කිරීම සිදු කරමි.
කොවිඩ්-19 වසංගතය ආරම්භක අවස්ථාවේදී, එනම් 2020 වර්ෂයේ මුල් මාස කිහිපයේදී PCR පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව පැවතියේ වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI), ජාතික රෝහල මහනුවර සහ කරාපිටිය ශික්ෂණ රෝහලද, විශ්වවිද්‍යාල මට්ටමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ද ඇතුළුව ආයතන 21 ක පමණි. ඒ වන විට එම ආයතනවල තිබුණේ Rotageen වර්ගයේ PCR යන්ත්‍ර පමණක්
වන අතර එමගින් වෛරස් වර්ග හඳුනාගැනීම සිදු කිරීම සිදු කරන ලදි. ඒ සඳහා අවශ්‍ය PCR Kit (පර්යේෂණ කට්ටල) සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය හදිසි අවශ්‍යතාවය මත ඒ ඒ ආයතන මගින් මිලදී ගන්නා ලදි. ඉන්පසු අවශ්‍යතාවය ඉහළයාමත් සමඟ වෛද්‍ය සැපයීම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අවශ්‍ය PCR කට්ටල තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ මත මිලදී ගැනීම් සිදු කර ඇත.
එලෙස PCR කට්ටල මිලදී ගැනීම සඳහා එම ආයතන විසින් පත් කළ තාක්ෂණික ඇගයීම් කමිටුවල සාමාජිකයින් ලෙස අදාළ විෂයය පිළිබඳ විශේෂඥවරුන් වන පහත නම් සඳහන් මහාචාර්යවරුන් හා විශේෂඥ වෛද්‍යවරු සහභාගී වී ඇත.
1. මහාචාර්ය නීලිකා මලවිගේ
2. ආචාර්ය චන්දිම ජීවන්දර
3. විශේෂඥ වෛද්‍ය එස්. නානායක්කාර
4. විශේෂඥ වෛද්‍ය නදීකා ජානගේ
5. විශේෂඥ වෛද්‍ය දුල්මිනී කුමාරසිංහ
6. විශේෂඥ වෛද්‍ය එස් සුමතිපාල
7. විශේෂඥ වෛද්‍ය මාලිකා කරුණාරත්න
8. විශේෂඥ වෛද්‍ය සී. එස්. ජේ. ජයමහ
මීට අමතරව වෛද්‍ය නිලන්ත ධර්මගුණ, වෛද්‍ය ඒ. ටී. සුදර්ශණ, රසික ජයසූරිය, කේ.ටී. කේ. හසන්ත, කේ.සී.එස්. පෙරේරා, එස්.පී. වීරරත්න, පී.ආර්. ප්‍රේමවංශ, ජී. විමලවංශ සහ මයුරී සුරවීර යන නිළධාරීන්ද එම කමිටු නියෝජනය කර ඇත. එම තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ මත අදාළ මිලදී ගැනීම් සිදු කර ඇත.
එම තාක්ෂණික ඇගයීම් කමිටු මගින් තම නිර්දේශ සඳහා පදනම් කර ගත් හේතු පහත පරිදි වේ.
01. වෛරස පිළිබඳ පරීක්ෂාවේදී එක් එක් PCR කට්ටලවල කාර්යසාධනය (Performance) ලබාගන්නා ප්‍රතිඵල කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදු කරනු ලබයි. එබැවින් දේශීයව සිදු කරනු ලබන යෝග්‍යතා පරීක්ෂණ (Validation) සම්පූර්ණ වී තිබීම අත්‍යාවශ්‍ය බැවින් ඒ වන විට යෝග්‍යතාව ලබා තිබූ කට්ටල සඳහා අනුමැතිය ලබා දී ඇත. අළුතින් ලබා ගන්නා PCR කට්ටලයක යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා දීර්ඝ කාලයක් වැය වන හෙයින් වසංගතය දරුණුව පැවති කාලය තුළදී එවැනි කාර්යයක් සිදු කිරීමට තිබූ අවස්ථාව අවම විය.
02. යෝග්‍යතාවය පරීක්ෂා නොකරණ ලද PCR කට්ටල මිලදී ගැනීමක් සිදුවූයේ නම් එමගින් සිදු කරනු ලබන පරීක්ෂණවල නිවැරදිතාව තහවුරු නොවීමෙන් පැවති වසංගත තත්වය කළමනාකරණය කර ගැනීමට ප්‍රබල අභියෝගයක් ඇති වීමට තිබිණි. එමෙන්ම එවැනි පරීක්ෂණ දත්ත තහවුරු කර ගැනීම සඳහා නැවත නැවත පරීක්ෂණ කිරීමට සිදු වීම තුළින් තීරණ ගැනීම ප්‍රමාද වීමටත්, අමතර මූල්‍ය පිරිවැයක් දැරීමටත් සිදු විය හැකිව තිබුණි.
03. 2020 මැයි මස වන විට ලංකාව තුළ පැවති හදිසි තත්වය මත ඉහළ රෝගී සංඛ්‍යාවක් වාර්තා වීම නිසා අණුක රසායනාගාර සේවය මුහුණ දුන් ප්‍රධාන අභියෝගයන් වූයේ ඉතා ඉහළ පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකිරීමට වීමත් ඒවා වඩා නිවැරදිව විශ්වාසදායී ලෙස ලබා දීමත්ය. එබැවින් මෙම ප්‍රසම්පාදන කටයුතු ඉතා ඉක්මනින් සිදු කල යුතු විය.
04. ඉහත කරුණු මත පදනම්ව තාක්ෂණික ඇගයීම් කමිටුව ඒ වන විට යෝග්‍යතාවය සහතික කර තිබූ, එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය සහිත ඒ අවස්ථාවේදී රසායනාගාර සතු උපකරණ හා සැසඳෙන (Compatible) PCR කට්ටල මිලදී ගැනීම සඳහා නිර්දේශ කර ඇත. තවද එම පරීක්ෂණ මෙහෙයවූ පර්යේෂකයින් තමන් සතු PCR යන්ත්‍රයට අදාළවන වර්ගයෙන්ම පරීක්ෂණ කට්ටල ලබා දෙන ලෙසත් ඉල්ලීම් කර ඇත.
2020 මැයි මාසයේදී එක් අවස්ථාවකදී යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට යටත්ව PCR කට්ටල මිලදී ගෙන තිබූ අතර එහි අභ්‍යන්තර පාලක පද්ධතියේ (Internal Control) ගැටළු නිසා එහි ප්‍රතිඵල නිරවද්‍ය නොවුනි. එබැවින් එම ආයතනයෙන් මෙම පරීක්ෂණ කට්ටල භාවිතා කිරීම මාස හතරකට ප්‍රමාද වූ අතර නැවත එම සමාගම විසින් ගෙන්වා දුන් පසු පරීක්ෂණ වලට යොදාගැනීමට හැකි විය.
කොවිඩ් වසංගතය ආරම්භයේදී රෝගය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව හා දේශීයව තිබූ තොරතුරු සීමාසහිත වූ අතර එම තොරතුරු මත පදනම්ව පිරිවිතරයන් යාවත්කාලීන කිරීම හැකි ඉක්මනින් සිදු කරන ලදි. එමෙන්ම, හදිසි තත්වය සමනය වීමත් සමඟ වැඩි PCR කට්ටල සංඛ්‍යාවක යෝග්‍යතාවය තහවුරු කර ප්‍රසම්පාදන කටයුතුවලදී තරඟකාරීත්වය ඇති කරලීම මගින් PCR කට්ටල තරඟකාරී මිලකට ලබා ගැනීමට හැකි වී ඇත.
මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ජාතික විගණන කාර්යාලයට ලබා දෙන ලෙස වෛද්‍ය සැපයීම් අංශයට හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දෙන ලදි.
විශේෂඥ වෛද්‍ය. ආර්. එම්. එස්. කේ. රත්නායක
ලේකම්
ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය