ගෙවී ගිය දින 07ක දී මෙරටට සංචාරකයන් 9545 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග ක්‍රමානුකූලව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩීවෙමින් පවතින බවයි.
මෙරට සංචාරක ව්‍යාපාරය යථාතත්වයට පත්වෙමින් පවතින බව එමගින් තහවුරු වන බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා යලි සංචරණ සීමා පැනවීමකින් තොරව රට පවත්වාගෙන යාමට හැකි වුවහොත් ලබන වසර අවසන් වනවිට මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට සංචාරක ව්‍යාපාරයට සුවිශේෂ දායකත්වයක් දැක්විය හැකි වනු ඇතැයි විශ්වාසය පල කරයි.
නොවැම්බර් 01 වෙනිදා සිට 07 වෙනිදා දක්වා කාලය තුල මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 3107කි. රුසියානු සමූහාණ්ඩුවෙන් පැමිණ ඇති සංචාරකයන් ගණන 774කි. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 764 දෙනෙකු පැමිණ ඇති අතර ජර්මනිය, පාකිස්ථානය, මාලදිවයින, ප්‍රංශය, කැනඩාව, ඇමරිකාව හා ස්විස්ටර්ලන්තය එම කාලය තුල වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණි රටවල් වේ. පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 07 වන දින දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 70,633 දෙනෙකු පැමිණ තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 13,547කි. ඔක්තෝබර් මාසයේදී එම සංඛ්‍යාව 22,771 දක්වා ඉහළ ගිය බව ඇමතිවරයා කියයි. මේ අතර එලඹෙන ප්‍රධානතම සංචාරක සමය තුල එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය හා ඉන්දියාව යන රටවල විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයිද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. එක්සත් රාජධානිය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ප්‍රධාන යූරෝපීය මූලාශ්‍ර වෙළඳපලයි. ආසියානු කලාපයේ ප්‍රධාන මූලාශ්‍ර වෙළඳපොල වන්නේ ඉන්දියාවයි. ඒ අනුව මෙම ප්‍රධාන වෙළඳපල ආවරණය සඳහා ගෝලීය රූපවාහිනී නාලිකා වල ප්‍රචාරක කටයුතු, ප්‍රංශයේ මහජන සම්බන්ධතා, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ප්‍රචාරක වැඩසටහන්,මැද පෙරදිග සමාජ මාධ්‍ය ප්‍රචාරක වැඩසටහන්,එක්සත් රාජධානිය, ජර්මනිය හා ඉන්දියාවේ උපායශීලී සංචාරක හා වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට අපේක්ෂිතයි. එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය හා සෞඛ්‍ය නියමයන් ලිහිල් කිරීමත් සමග ඉහළ වටිනාකමක් සහිත ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම මෙමගින් සිදුවේ.
එළඹෙන ප්‍රධානතම සංචාරක සමය තුළ මෙම රටවල් සමග සෘජු ගුවන් ගමන් පුළුල් කිරීමට ද සැලසුම් කර ඇතැයි ඇමතිවරයා කියා සිටියි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනටමත් ඒ සඳහා කටයුතු කරමින් සිටියි. මේ තත්වය තුල ඉදිරි සංචාරක සමය තුල සංචාරකයන් විශාල පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියි.