පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාවේ පැවැත් වූ ගෝව සමුද්‍රීය සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති නැවත පැමිණේ

    නොවැම්බර් 12, 2021

     ඉන්දියානු නාවික හමුදාව විසින් තුන් වන වරට සංවිධානය කරන ලද ගෝව සමුද්‍රීය සමුළුව - 2021 (Goa Maritime Conclave – 2021) නොවැම්බර් මස 07 වන දින සිට 09 වන දින දක්වා ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු නාවික හමුදා සංග්‍රාමික පාසලේදී පැවැත්වූනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහභාගී විය.

    ‘සාම්ප්‍රදායික නොවන සමුද්‍රිය තර්ජන ප්‍රවණතා සහ සමුද්‍රිය ආරක්‍ෂාව: ඉන්දීය සාගර කාළාපීය නාවික හමුදාවන්ගේ ක්‍රියාකාරී භූමිකාව’ (Maritime Security and emerging non-traditional threats: Case for proactive role for IOR Navies) යන තේමාව යටතේ ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සිං මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කළ මෙවර සමුළුවේ ප්‍රධාන දේශණය ඉන්දීය විදේශ ලේකම් Shri Harsh Vardhan Shringla මහතා විසින් පවත්වන ලදී.

    මෙවර සමුළුව සඳහා ඉන්දියානු සාගර කළාපයට අයත් ශ්‍රී ලංකාව, බංගලාදේශය, කොමරූස් ඉන්දුනීසියාව, මැඩගස්කරය, මාලදිවයින, මැලේසියාව, මුරුසිය, මියන්මාරය, ෂිශේල්ස්, සිංගප්පුරුව සහ තායිලන්තය යන රටවල් 12ක් නියෝජනය කරමින් නාවික ප්‍රධානීන්/සමුද්‍රීය ආරක්‍ෂක බලකා ප්‍රධානීන් සහභාගි වී සිටියහ.

    මෙම සමුළුව ඉන්දීය සාගර කළාපයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජනයන් හා අනෙකුත් ගැටළු පිළිබඳ පාර්ශව කරුවන්හට අදහස් හුවමාරු කර ගැනීම සඳහා වේදිකාවක් නිර්මාණය කරන ලද අතර, මෙම සමුළුව ඇමතු නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, ඉන්දියානු සාගර කළාපයේ ආරක්‍ෂාව සහ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන ප්‍රවණතා ජයගැනීම සඳහා නාවික හමුදාවන්හී කාර්‍යභාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දෘෂ්ථි කෝණය යන මැයෙන් (Maritime Security and emerging non-traditional threats: Case for proactive role for IOR Navies – A Sri Lanka’s perspective) දේශණයක් පවත්වන ලදී. එහිදී ඉන්දීය සාගර කළාපයේ වැදගත්කම, එම සාගර කළාපයේ සම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන ප්‍රවණතා, කළාපීය නාවික හමුදාවන් ගේ කාර්‍යභාරය, ශ්‍රී ලංකා නාවික හමුදාව මුහුණදෙනු ලබන සමුද්‍රීය අභියෝග සහ එම අභියෝග ජයගැනීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවද නාවික හමුදාධිපතිගේ දේශණයේ කරුණු අන්තර්ගත විය. තවද, ගෝව සමුළුව ඉතා උසස් අන්දමින් සංවිධානය කිරීම සහ එම සමුළුව ඇමතීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති විසින් ඉන්දීය නාවික ප්‍රධානී වෙත සිය කෘතඥතාවය මෙහිදී පල කිරීමට කටයුතු කෙරිණි.

    මෙම සමුළුවට සමගාමීව ඉන්දිය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සිං මහතා සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අතර ද්විපාර්ශවික හමුවක් පැවැත්වුනු අතර, එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා දිගු කාලීන මිත්‍රශීලී සබඳතාවය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද පිළිසදරක් පැවැත්විණි. එමෙන්ම, නුදුරේදී විශ්‍රාම යාමට නියමිත ඉන්දීය නාවික හමුදා ප්‍රධානී වෙත නාවික හමුදාධිපති විසින් සුභපැතීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. තවද, එළඹෙන නොවැම්බර් මස 30 වන දින සිට නව ඉන්දීය නාවික හමුදා ප්‍රධානී ලෙස වැඩ භාර ගැනීමට නියමිත වත්මන් ඉන්දීය නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරි වයිස් අද්මිරාල් ආර්.හරි කුමාර් (Vice Admiral R. Hari Kumar) මහතා සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අතර ද ද්විපාර්ශවික හමුවක් පැවැත්වුනු අතර, එහිදි ඉදිරියේ දී දෙරටේ නාවික හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ වැදගත් කරුණු රැසක් සාකච්ඡා කරන ලදී.

    එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහ මියන්මාරයේ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් මෝ අන්ග් (Admiral Moe Aung) මහතා අතරද ද්විපාර්ශවික හමුවක් පැවැත්වුණු අතර, එහිදී දෙරටේ නාවික හමුදාවන් සම්බන්ධ වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

     

    මෙම සමුළුවට සමගාමීව ඉන්දියානු නාවික හමුදා නෞකා නිශ්පාදන කර්මාන්තයේ නව නිපැයුම් නැරඹීමේ අවස්තාවට ද නාවික හමුදාධිපති එක් වූ අතර ඉන්දියානු සාගර කළාපීය රාජ්‍යයන්ගේ නාවික හමුදා ප්‍රධානීන් මෙන්ම සමුද්‍රීය බලකා ප්‍රධානීන් සහභාගී වූ ගෝව සාගරික සමුළුව සඳහා සහභාගි වීම මඟින් වැඩිදියුණු වන අන්‍යෝන්‍ය සහයොගීත්වය සහ ජාත්‍යන්තර සබඳතා තුළින් ඉදිරියේ දී ඉන්දියානු සාගර කළාපයෙන් මතුවන නව සාගරික තර්ජන ප්‍රවණතා සහ අනෙකුත් අභියෝගයන් සාර්ථකව ජයගනිමින් ඉන්දියානු සාගර කළාපයේ ආරක්‍ෂාව ඇති කිරීම සඳහා ක්‍රියාත්මක වීමට පාර්ශවකරුවන් හට අවස්ථාව සැලසෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya