පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    නොවැම්බර් 13, 2021

    දෙරටටම ප්‍රතිලාභ ලැබෙන පරිදි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමේ වැදගත්කම අවධාරණය කළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, ඒ සඳහා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව පැවසීය.

    ඉන්දුනීසියාවේ පැවති කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවැනි ආසියා පැසිපික් කලාපීය සමුළුවට සමගාමීව බංග්ලාදේශ කර්මාන්ත අමාත්‍ය නුරුල් මජිඩ් මහ්මඩ් හුමායන් මහතා සමග ජකර්තාහි ෆෙයාර්මොන්ට් හෝටලයේදී ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගි වෙමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

    සාකච්ඡාව අරඹමින් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දැඩි සම්බන්ධතාවක් පවතින බවත් කාර්මික අංශය සැලකුවහොත් දෙරට අතර රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයෙහි දැඩි සබඳතා පවතින බව ය. එහිදී අදහස් දැක්වූ බංගලාදේශ කර්මාන්ත අමාත්‍යවරයා පැවසුවේ එරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් සේවයේ යෙදී සිටීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් දෙරට එක්ව කටයුතු කර වෙළඳාම හා ආයෝජන වැඩිකර ගැනීම කෙරෙහි අවධානය යොමු වියයුතු බව ය. ඒ අනුව විමල් වීරවංශ මහතා එම නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා දෙරට අතර ඉහත කී ආකාරයේ ගිවිසුම්ගත ඒකාබද්ධ යාන්ත්‍රණයක වැදගත්කම පෙන්වා දෙමින් එය ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් සඳහන් කළේය.

    එසේම මෙහිදී ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින බංග්ලාදේශයට මෙරට එම කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා ඇරයුම් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ද කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඒ කෙරෙහි බංග්ලාදේශ රජයේ අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නා බව බංග්ලාදේශ කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙහිදී අමාත්‍යවරුන් අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති සංවර්ධන) මහේෂ් අබේසේකර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් දිලිනි ජයවර්ධන යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya