ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (11) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
මෙහිදී ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද උප සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවුෆ් හකීම්, එම්.ඒ සුමන්තිරන්, වී රාධක්‍රිෂ්ණන් යන මහත්වරුද තේරි පත්විය.
මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ද උප ලේකම් ලෙස රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ද තේරි පත්විය.
රැස්වීම අමතමින් කථානායකවරයා පවසා සිටියේ වසර දහස් ගණනක ඉතිහාසයේ සිටම දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික වශයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීපත්වය පිළිබිඹු කරන බවයි. කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට අඛණ්ඩව සැපයීම සඳහා ලබා දුන් සහය පිළිබඳව කථානායකවරයා ඉන්දියාවට සිය කෘතඥතාව පළ කළේය.
මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අභිනව නිලධාරී මඩුල්ලට සුබ පැතුම් එක්කරමින් ප්‍රකාශ කර සිටියේ මේ හරහා ඉන්දියානු ශ්‍රි ලංකා පාර්ලිමේන්තු අන්තර් සහයෝගීතාව වැඩි දියුණු වන බවයි. තවද, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බෙදාහදා ගනිමින් පොදු අභියෝගවලදී සහයෝගීතාවය බෙදාහදා ගැනීම ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට මෙය තවදුරටත් උපකාර වන බව මහ කොමසාරිස්වරයා පැවසීය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපති ලෙස තේරී පත් වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තම සභාපතීත්වය යටතේ දෙරට අතර දැනටමත් පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි. අමාත්‍යවරු ,රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.