පාසල් යළි විවෘත වීමත් සමග පාසල් සිසුන්ගේ දින චර්යාවේ චර්යාත්මක වෙනසක් තුළින් බෝ වන හා බෝ නොවන රෝග වලට ගොදුරු වීම වළක්වා නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමට මං පාදන මෙම සුවධරණී සුවචර්යා මාර්ගෝපදේශ සංග්‍රහය දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව නිර්මාණය කර ඇත.
දිවයිනේ සියලු පාසල් ඉලක්ක කර එම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව මගින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවනු ලබයි.
මෙම උත්සව අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා විසින් නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා වෙත සංකේතාත්මකව සුවධරණී සුව චර්යා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය පිළිගැන්වූයේය.
එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, පසුගිය කාලය තුළ පාසල් සිසුන් මෙන්ම ජනතාව කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූවා. අප අමාත්‍යංශයක් ලෙස හදුනාගත්තා මිනිසුන්ගේ චර්යාත්මක වෙනසක් සිදුනොකර මේ ප්‍රශ්නයට විසදුමක් ලබාගත නොහැකි බව. ඒ නිසා අපි ගොඩනගලා තිබෙනවා ජීවන සැලැස්ම, ජීවන මාර්ගය ගොඩනැගීමේ වැඩපිළිවෙලක් දේශීය කැද, කොළ, ආහාර වර්ග ආහාරයට ගැනීම වැනි සරල ජීවන රටාව ගොඩනැගීමේ සුවධරණී සුව චර්යා වැඩපිළිවෙල ආරම්භ කරන්න. සුවධරණී සුව චර්යා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය එළිදක්වන්න. ලංකාවේ සියලුම පාසල් තුළ මෙම උපදේශාත්මක වැඩසටහන හා දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදාදීමේ වැඩසටහන ආරම්භ කරන ලෙසද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන හා වෛද්‍යවරුන්, ගුරුවරුන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.