පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි අවුරුදු පහේදී රටට අවශ්‍ය වෛද්‍ය සැපයුම් 80 % ක් රටේ දී නිෂ්පාදනය කරනවා - සෞඛ්‍ය ඇමති

    නොවැම්බර් 18, 2021

    රටට අවශ්‍ය වෛද්‍ය සැපයුම් වලින් 80% ක් ඉදිරි පස් වසර තුළ මෙරට නිෂ්පාදනය කිරීමට ඉලක්ක කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.


    මෙවර අයවැය තුළින් ඒ සඳහා වන වැඩපිළිවෙලට ඉහළ සාර්ථකත්වයක් ලැබී ඇතැයිද අමාත්‍යවරයා කීය. ලංකාවේ පළමු වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව බණ්ඩාරගම ප්‍රදේශයේදී   (17) නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එක්සත් ජනපදයේ ෆ්ලෙක්සිකෙයාර් (Flexicare) සමූහයට පූර්ණ අනුබද්ධ මෙරට සමාගමක් වන ෆ්ලෙක්සිකෙයාර් ලංකා පුද්ගලික සමාගම ලෙසින් මෙය ක්‍රියාත්මක වේ. නවීන නිෂ්පාදන කර්මාන්තශාලාවක් වන මෙහි මූලික ආරම්භක කටයුතු කොවිඩ් වසංගතය පැවති වකවානුව තුළ ආරම්භ කෙරිණි. රටවල් 120 ක් පුරා මෙහි නිෂ්පාදන බෙදා හැරීම සිදු කරන අතර නෙදර්ලන්තය, ජර්මනිය,චීනය ඇතුළු රටවල් රැසක එයට අනුබද්ධ කර්මාන්තශාලා ක්‍රියාත්මකය. මෙහි ප්‍රධාන කර්මාන්තායතනය එක්සත් ජනපදයේ ස්ථාපිතව ඇත.

    ඉදිරියේදී වෛද්‍ය උපකරණ ඇතුළු නිෂ්පාදන මෙරටින් අපනයනය කිරීීමටද මෙහි සැලැසුම් කර තිබේ. එමෙන්ම ඉදිරියේදී සේවක සංඛ්‍යාව ඉහළ නංවමින් වඩාත් පුළුල් ලෙස කර්මාන්තායතනය ක්‍රියාත්මක කිරීමට එහි දෙවන අදියර යටතේ සැලැසුම් කර ඇති අතර මෙමගින් විශාල පිරිසකට රැකියා අවස්ථා හිමි වනු ඇත.

    වෛද්‍ය උපකරණ ඇතුළු ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මෙරට ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති වැඩපිළිවෙල ඔස්සේ ලොව පුරා ආයෝජකයින්ට හොඳ අවස්ථාවක් ලැබී ඇතැයිද එමගින් එම නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රමුඛ රටක් බවට මෙරට පත්වනු ඇති බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

    වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට මෙන්ම සැපයුම්කරුවන්ට ඉතා පැහැදිලි මාර්ගයක් මේ තුළ නිර්මාණය වී ඇතැයිද ආයෝජන මණ්ඩලයේ සහය මේ සඳහා නිරතුරුව හිමිවන්නේ යැයිද හෙතෙම කීය. මුදල් අමාත්‍යාංශය මෙන්ම රජය මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙන බවත් ඒ සඳහා සාර්ථක වැඩපිළිවෙල රැසක් සැලැසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    ඉතා පුළුල් බෙදාහැරීමේ ජාලයක් ක්‍රියාත්මක නව කර්මාන්තායතනය තුළින් ඉදිරියේදී රටේ අපනයන ක්‍රියාවලියට විශාල දායකත්වයක් හිමි වනු ඇතැයිද අමාත්‍යවරයා කීය. මෙවැනි කර්මාන්තාශාලා රට තුළ ආරම්භ කිරීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැවොම ආඩම්බර වියයුතු බවද එය රටෙහි ඉදිරි අනාගතයට වඩාත් ඵලදායී වන බවද රඹුක්වැල්ල මහතා කීය.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ඕබෙ (Sarah Hulton Obe) මහත්මියද එක්ව සිටියාය.

    ෆ්ලෙක්සිකෙයාර් ලංකා පුද්ගලික සමාගමේ සභාපති ගසන් පුර්මන්ඩ් , කළමණාකාර අධ්‍යක්ෂ හැඩෂ් පුර්මන්ඩ් යන මහත්වරුද එහිදී අදහස් දැක්වූහ. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත
    සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ලලිත් එල්ලාවල, ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya