ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පසුගියදා (24) රැස්වූ අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.
එමෙන්ම, උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ z score අගය මේ වන විට නිකුත් කර ඇති බව නිවේදනය කළ අමාත්‍යවරයා ගුරු විදුහල්පති වැටුප් විෂමතා අර්බුදය පවතින අතරතුර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) ප්‍රතිඵල නිකුත් කිරිමට පැවති අවහිරතා ඉවත්ව ඇති බවද සඳහන් කළේය.
එයට අමතරව පැවති කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීම සිදුවූ අ.පො.ස. (උසස් පෙළ), 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අදාළ දින මේ වන විට තීරණ කොට ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව 2022 ජනවාරි මස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමටත්, පෙබවාරී මස පළමු සතියේදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වීමටත්, මැයි මස 23 වැනිදා අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය පැවැත්වීමටත් මේ වන විට කටයුතු සූදානම් කොට තිබේ.
ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාව විසින් පත්කළ තාක්ෂණික කමිටුවේ වාර්තාව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රෙමජයන්ත මහතා විසින් උපදේශක කාරක සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන්කළේ දැනට පාසල් විෂය මාලාව තුළ 6 වැනි ශ්‍රෙණියේ සිට 9 වැනි ශේණිය දක්වා අනිවාර්ය විෂයක්ව පවතින පුරවැසි අධ්‍යාපනය විෂය මෙම ප්‍රතිසංස්කරණ වලින් පසුව නීතිය සහ පුරවැසි අධ්‍යාපනය ලෙස වෙනස් කිරීමට යෝජනා කෙරෙන බවයි.
මෙම තාක්ෂණික කමිටු වාර්තාවට අනුව නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම මඟින් දරුවන් තුල නීතිය පිළිබඳ දැනිමක් ඇති කිරීම, නීතියට අවනත නොවීමේ විපාක හා දඬුවම් ගැන දැනුම්වත්භාවයක් ඇති කිරීම, නීතියෙන් ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් ලබා දීම, නීති සම්පාදනය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ගැන අවබෝධයක් ලබා දීම, ශිෂ්ට සම්පන්න සමාජයක නීතියෙන් තහවුරු කර ඇති යුතුකම් සහ වගකීම් ගැන අවබෝධයක් ලබාදීම ආදී කුසලතා වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
අපේක්ෂිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාලව පූර්ව ළමා වියේ සිට උසස් පෙළ දක්වා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෘත්තීය අධ්‍යපනයට අදාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ උසස් අධ්‍යාපනයට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වශයෙන් කොටස් තුනක් ඔස්සේ සකසන ලද ප්‍රතිපත්ති රාමුවට අදාල අවසාන වාර්තාව 2020 අගෝස්තු මාසයේදී නිකුත් කොට ඇති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය. එහි සාමාන්‍ය අධ්‍යපනයට අදාළව ඕනෑම අයෙකුට අදහස් දැක්විය හැකි ඩිජිටල් වේදිකාවක් ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 28 වැනිදා ප්‍රකාශයට පත් කළ බවද හෙතෙම සඳහන් කළේය. ඒ සඳහා ලැබුණු අදහස් හා යෝජනා 2400 ක් විමර්ශනය කොටගෙන සකසන ලද වාර්තාවක් ජාතික අධ්‍යාපන කොමිසම වෙත යොමු කොට ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවේ ජාතික විශ්ව විද්‍යාලක් නොමැති හැම දිස්ත්‍රික්කයකටම නගර විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි ආරම්භ කොට ඇති ජාතික පාසල් 1000 වැඩසටහන පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.
මෙම රැස්වීමට කාරක සභාවේ සභාපති අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරයන් වන ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, සීතා අරඹේපොල, පියල් නිශාන්ත, විජිත බේරුගොඩ සහ මන්ත්‍රීවරයන් වන රාවුෆ් හකීම්, ටී. කලෙයි අරසන්, සුදත් මංජුල, ශාන්ත බණ්ඩාර, එරාන් වික්‍රමරත්න, ප්‍රේම්නාත් සී. දොලවත්ත, කාදර් මස්තාන්, වෙවද්‍ය උපුල් ගලප්පත්ති, යදාමිණී ගුණවර්ධන, අනුප පැස්කුවෙල්, චාර්ල්ස් නිර්මලනාදන්, නිමල් පියතිස්ස, චාමර සම්පත් දසනායක, වී. රාධක්‍රිෂ්ණන්, උදයකාන්ත ගුණතිලක, අජිත් රාජපක්ෂ, සිවඥාණම් ශ්‍රීතරන්, ඩයනා ගමගේ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ශාන්ත බණ්ඩාර, ගීතා කුමාරසිංහ, ගුණතිලක රාජපක්ෂ, මහාචාර්ය චරිත හේරත්, මධුර විතානගේ, මංජුලා දිසානායක, රෝහණ දිසානායක, කෝකිලා ගුණවර්ධන, මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.