පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ඇමෙරිකානු ඩොලර් බිලියන 5.26 ක ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියෙන් සැලසුම්

    නොවැම්බර් 27, 2021

    ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වෙනුවෙන් විදෙස් ආයෝජකයන් ශ්‍රී ලංකාවට යොමු කරවීම සඳහා රට තුළ ඇති ආයෝජන අවස්ථා පුළුල් කළහැකි ආකාරය පිළිබඳව සොයා බැලීමේ විධිමත් ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ඇරඹීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

     

    පසුගිය 25 වන දින නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ “ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ ආයෝජන සංසදය 2021” මඟින් පැවැත්වූ සාකච්ඡාමය වැඩ සටහනේදී මෙම තොරතුරු අනාවරණයය කෙරිණ.

    ඇමෙරිකානු ඩොලර් බිලියන 5.26 ක ඍජු විදේශ ආයෝජනයක් ඉලක්ක කරගනිමින් 2021 - 2023 වසරවල් සඳහා මෙම නව සැලසුම් සකස් කර තිබේ. ඒ රටතුළ දැනට ක්‍රියාත්මක වන හඳුනාගත් ව්‍යාපෘති 45 ක් මූලික කරගනිමි.

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉහත ව්‍යාපෘති හඳුනාගෙන ඇති අතර එම ව්‍යාපෘති මිශ්‍ර සංවර්ධනය, නේවාසික කුළුණු සංවර්ධනය, ආගන්තුක සත්කාර සහ විවේක සංවර්ධනය, කාර්යාල කුළුණු සංවර්ධනය, ලොජිස්ටික් හබ් සංවර්ධනය සහ බහුමහල් රථගාල් සංවර්ධනය යන කාණ්ඩ යටතේ වර්ග කර තිබේ.

    රටතුළ සෑම පෙදෙසකටම ව්‍යාප්ත වී පවතින මෙම ව්‍යාපෘති විදෙස් ආයෝජන අවස්ථා කෙරෙහි සැලකිය යුතු තත්ත්වයක බලපෑමක් ඇතිකරනු ඇතිබවට විශ්වාස කෙරේ.

    මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික් සීමාව තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2 කින් ආයෝජනය කෙරෙන ව්‍යාපෘතියකි.

    නේවාසික කුළුණු සංවර්ධනය නාගරික සංවර්ධන අධිකාරියේ ආයෝජනයෙන් ක්‍රියාත්මක වන අතර, එහි සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 346 ක් වේ.

    ඇමෙරිකානු ඩොලර් මිලියන 424 ක ආයෝජනයක් මත ක්‍රියාත්මක කෙරෙන ආගන්තුක සත්කාරයන් සහ විවේක සංවර්ධනය ද දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන නව ව්‍යාපෘතියකි.

    නාගරික සංවර්ධන අධිකාරියෙන් තවත් ආයෝජනයක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 65 කින් නිම කෙරෙන කාර්යාල කුළුණු සංවර්ධනය මේ යටතේ ඇති තවත් ආයෝජන සැලසුමක් වේ.

    යෝජිත ලොජිස්ටික හබ් සංවර්ධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ආයෝජනයකින් ආර්ථික සංවර්ධනය සහ ඒ සමඟින් පවතින නම්වල පහසුකම්වල පවතින ප්‍රමිතිය දියුණු කිරීම සඳහා යොදාගැනේ.

    බහුමහල් රථගාල් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක ආයෝජනයක් අපේක්ෂා කෙරේ. මේ යටතේ දැනට පවතින වාහනවල මන්දගාමී වේගය, දිගු ගමනාගමන කාලය, නාගරික වාහන පෝලිම් වැඩිවීම ඇතුළු මඟහරවා ගත නොහැකි තදබදය මඟහරවා ගැනීමත්, එහි අඛණ්ඩ සංවර්ධනයට දායකවීමත් අපේක්ෂා කෙරේ. නාගරික සංවර්ධන අධිකාරිය පුද්ගලික අංශයත් සමඟ අත්වැල් බැඳගනිමින් වාහන නැවැත්වීමේ ප්‍රගතිශීලී විකල්ප හඳුන්වාදීම මෙහිදී අපේක්ෂා කෙරේ.

    මෙම සියලු තත්ත්වයන් ඍජු විදේශ ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ මෙම මුලපිරීම් ඉදිරි වසරවලදී කල්බදු හෝ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය මත ආයෝජකයින් සමඟ අත්වැල් බැඳගැනීමක් බව නාගරික සංවර්ධන අධිකාරියේ ආයෝජන සංසදය විශ්වාසය පළ කරයි.

    එසේම මෙය ආයෝජකයන්ට ඉහළම ආයෝජන විකල්පයක් තෝරා ගැනීමටත්, ප්‍රතිලාභ උපරිම ලෙස ලබාගැනීමටත් ආශ්‍රිත අවදානම අවම කිරීමටත් උපකාර වන බව ද එම සංසදය ප්‍රකාශ කර සිටියි.

    මෙම සැලසුම් අනුව ආයෝජන ශ්‍රී ලංකාවට ගලා ඒමටත්, ආයෝජකයන්ගේ පැමිණීමක් සිදුවන හෙයින් අත්‍යාවශ්‍ය සියලු පද්ධති සහ පහසුකම් දිවයින වටා ඇති වරායන්, වනාන්තර, ගුවන් තොටුපලවල්, කොළඹ නගරයේ මාර්ග සංවර්ධනයත් සම්පූර්ණයෙන් වැඩිදියුණු කිරීම ද සිදුවෙයි. එමෙන්ම විදුලි සංදේශන පහසුකම් ද දියුණු වන අතරම එය රට තුළ සෑම ප්‍රදේශයකටම හිමිවෙයි.

    මේ යටතේ ප්‍රධානතම ආයෝජන ව්‍යාපාර කිරීම සඳහා සුදුසු පරිසරයක් ආයෝජකයන්ට හිමිකර දීම සහතික කෙරේ. අනුමැතිය අවශ්‍ය අවස්ථාවන්හිදී අදාළ ආයතන හරහා ඉක්මන් ඍජු අනුමැතියක් ලබා දීමද සිදු කෙරේ. මෙම සියල්ල එනම් මධ්‍යගත ප්‍රවර්ධන සහ පහසුකම් මධ්‍යස්ථානයක් ඇතිකරන අතර, එය “එක් නැවතුම් ඒකකයක්” නමින් හඳුන්වා තිබේ.

    යෝජිත සියලු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 06 ක ඉලක්කයක් දේශීය විදේශීය ආයෝජකයන්ගෙන් අපේක්ෂා කරයි. නාගරික සංවර්ධන අධිකාරියෙන් මෙම අවස්ථාවන්, විදේශ ඍජු ආයෝජන, නාගරික සංවර්ධන අධිකාරියේ උපාය මාර්ගික මාර්ග සිතියම, උපාය මාර්ගික ආයෝජන අවස්ථා සහ එහි ඇති ආකෘතියක් හරහා ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සුබදායක බව තීරණය කෙරේ.

    මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්මවරු සහ දේශීය විදේශිය නව ආයෝජකයින් රැසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya