ශ්‍රී ලංකාවේ සමානුපාතික මැතිවරණය ක්‍රියාත්මක වූ 1977 ට පෙර මැතිවරණය සඳහා යන වියදම් යම් මට්ටමකින් පාලනය කර ගැනීමට නියාමනය කර ගැනීමට අවශ්‍ය නීති රීති තිබුණ ද අවාසනාවකට සමානුපාතික මැතිවරණ ක්‍රමයේ සම්ප්‍රාප්තියත් සමඟ එකී නීතිරීති මැතිවරණ පොතට ඇතුළත් වී නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා, මේ සඳහා සහයෝගය ලබා දුන් සිවිල් සංවිධාන, හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බොහෝ දේශපාලන පක්ෂ විශාල හඬක් නැඟීම ද සිදු කළ බවත්, 2017 වසරේ එවකට පැවති කැබිනට් මණ්ඩලය විසින් මෙම නීති රීති අනුමත කරනු ලැබූ බවත්, එහි ඉදිරි පියවරක් ලෙස මෙම කැබිනට් පත්කර ඉදිරිපත් කරනු ලැබූ බවත් කියා සිටියේය.
ශ්‍රී ලංකික පුරවැසියෙක් සතු පරමාධිපත්‍ය බලයේ මුලිකාංගය සර්වජන ඡන්ද බලයයි. එය ඡන්ද විමසීමක දී ජනතා කැමැත්ත වශයෙන් නිදහස් හා සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතුය. ඡන්ද විමසීමක දී කිසියම් අපේක්ෂයකයෙකු, පක්ෂයක් හෝ කණ්ඩායමක් ජනතාවගේ ඡන්දය වෙනුවෙන් කිසිඳු පාලනයකින් තොරව අධික ලෙස මුදල් වියදම් කරන්නේ නම් එමඟින් ජනතවගේ කැමැත්ත කෙරෙහි සැළකිය යුතු බලපෑමක් ඇතිවිය හැකියි.
එමෙන්ම, ඡන්ද විමසීම් වල දී තරඟ වදින අපේක්ෂකයින් හෝ පක්ෂ විසින් දරනු ලබන වියදම් පාලනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකාවේ සාකච්ඡා වී ඇති අතර, මේ වන විට ඉන්දියාව, ඇතුළු බොහෝ රටවල් මැතිවරණ වියදම් පාලනය කිරීමේ නීති රීති ද පනවා ඇත.
ඒ අනුව, මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සලසා නීති සම්පාදනය කිරීම මඟින් ශ්‍රී ලංකාව තුළ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා මෙන්ම අසීමිතව වියදම් කිරීම වැළක්වීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇති බව ද ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.
එපමණක් නොව, සම්ප්‍රදායික මැතිවරණයක සාධනීය ලක්ෂණ රැකගෙන ජනතාව ඍජුව නියෝජනය වෙන මැතිවරණ ක්‍රමයක් ද මීට එක් විය යුතු බවත් මෙය ඉතාම ඉදිරි පියවරක්, අනාගතවාදී පියවරක් බවත්, විශේෂයෙන් මැතිවරණ ක්‍රම පිළිබඳව, ජනතා නියෝජිතයින් පිළිබඳව ජනතාව තුළ අපේක්ෂාභංග වී ඇති රටකට නව අපේක්ෂාවක් මෙම තීන්දුව හරහා එක් වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම අනාගතවාදී සංවාදයකට අවශ්‍ය පසුබිම මාධ්‍ය භාවිතාව තුළ වැඩි ඉඩක් වෙන් කරන ලෙස ද හෙතෙම සියලු මාධ්‍ය වෙතින් ද ඉල්ලා සිටි අතර ම මේ සඳහා අනිකුත් සාමාන්‍ය ප්‍රශ්න වල දී මෙන් බෙදීමකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ඒකමතික තීරණයකට එළැඹ මෙම තීන්දුව ඉදිරියට ගෙන යාමට කටයුතු කරනු ඇති බවට වත්මන් රජය බලාපොරොත්තු වෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත්
සඳහන් කර සිටියේය.