ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ''සෞභාග්‍යයේ දැක්ම'' ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහ මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී ඇති බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉඩ ලබා දි ඇතැයි ද කීය.
මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ කිසියම් අර්බුදයක් ඇති බව පිළිගත යුතු බවත් , අධ්‍යාපන අසමතුළිත බවක් දැකිය හැකි බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය. 20වන සියවසේ දරුවන්ට 21වන සියවසේ අධ්‍යාපනය ලබා දීමට යාම මෙම ගැටළුව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වසංගත උවදුර සහ වැටුප් විෂමතාවය විසින් පාසල් වසා දැමූ බවත් දරුවන්ට ඉගෙනීමට ඇති අවස්ථාවද අහිමි කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කැබිනට් අනුකමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනාවන්ට අනුව නැවත දරුවන්ට ඉගෙනීමේ අවස්ථාව ලැබුණු බවත් දරුවන් වෙනුවෙන් සංවේදී වෙමින් රජයට ඇහුම්කන් දුන් ගුරු සංගම්, විදුහල්පති සංගම් ඇතුළු සියළු ගුරු සංගම්වලට තම ස්තුතිය පුද කරන බවද කීය.
රට පුරා විසිරී තිබෙන 20,000ක් පමණ වූ පෙර පාසල් අධ්‍යාපන ආයතන සහ , පෙර පාසල් ගුරුවරු නියාමනය කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මුල් ළමා විය සංවර්ධන කටයුතු වල සිදුවන අඩුපාඩු හේතුවෙන් බොහෝ දරුවන්ට ජීවිතය මගහැරෙන බව පෙන්වා දුන්නේය. ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා විදයාපීඨ 19ම විශ්වවිද්‍යාල බවට පත්කරමින් සියලු ගුරුවරු උපාධිධාරින් බවට පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මිලියන 600ක් වෙන් කර ඔන්ලයින් අධ්‍යාපනය නඟා සිටුවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සහ ධම්මික පෙරේරා නම් ප්‍රකට ව්‍යාපාරිකයා ලබා දුන් ඩී.පී අධ්‍යාපන නාලිකාවටද අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කළේය.
තමා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේ රටක් වටින පොතක් ලිවීමට කළ ආරාධනාව පිළිගනිමින් මෙරට 43,000ක් දරුවන් පොත් ලියූ බවත් රට සංස්කෘතිමය සහ අධ්‍යාත්මිකව පෝෂණය කිරීම මෙහි අරමුණ වූ බවද සඳහන් කළේය. ජාත්‍යන්තර කියවීමේ මාසයේ දී දරුවන්ගේ සිහින මල්පළ ගන්වමින් එම දරුවන්ට අවශ්‍ය ගෞරවය ලබා දෙමින් එම පොත් මුද්‍රණය කිරීමට කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
දෑස් නොපෙනෙන බ්‍රයන් කිංග්ස්ටන් වැනි දරුවන්ට අධ්‍යාපන වරම් උදාකරදීම සම්බන්ධයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ස්තුතිවන්ත වන බවත් ආබාධිත දරුවන් කෙරෙහි පැවති මතවාදය මෙම දරුවන් බිඳ හෙලූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, "ඔවුන් නොව, එම දරුවන් හඳුනා නොගත් අප තමයි ආබාධිත" යනුවෙන්ද සඳහන් කළේය.