ඒ අනුව කොළඹ පිහිටා තිබෙන පාවෙන වෙළද සංකීර්ණය (Floating Market), ඩච් හොස්පිට්ල්, ගෝල්ඩ් සෙන්ටර් සහ රේස්කෝස් පිටිය ඇතුළු තවත් ස්ථාන කිහිපයක් නව වෙළද ආර්ථික දැක්මක් යටතේ සංවර්ධනය කිරීමට කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් බාරගත් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඉතා ප්‍රබල මෙම ආර්ථික මර්මස්ථාන පසුගිය යහපාලන රජය මඟින් නොසලකා අතහැර දමා තිබූ අතර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත එම ප්‍රධාන ආර්ථික මර්මස්ථාන මෙසේ නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අධික්ෂණයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය හා සංචාරක ව්‍යාපාරය දියුණුකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමය එක්ව අත්සන් තබා තිබේ. මෙය නව ආර්ථික වැඩපිළිවෙලක් ඇරඹීමේ ක්‍රියාකාරි එකඟතාවක් ලෙස හදුන්වා දිය හැක.
මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තුළින් මෙම ස්ථාන සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගනු ඇති බවට විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට සංචාරක තොරතුරු සපයන කාර්යාලයක් පාවෙන වෙළද සංකීර්ණය තුළ විවෘත කිරිමට ද කටයුතු යොදා තිබේ. මෙමඟින්, සංචාරක ගමන් මාර්ග පිළිබඳ තොරතුරු දැනගැනීමට මෙන් ම අවශ්‍ය නවාතැන් පහසුකම් වෙන්කරගැනීම්, සංචාරය කරන ස්ථානවල තොරතුරු දැනගැනීම පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනිමට ද සංචාරකයන්ට අවස්ථාව හිමිවේ. මෙය ඩිජිටල් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම, නිෂ්පාදන අලෙවිය ඉහළ නැංවීම, ආර්ථිකය දියුණුකිරීම, විදේශ විනිමය රට තුළට ගෙන්වා ගැනීම මෙහි අනෙක් අපේක්ෂාවන් වේ.
මෙම ස්ථානවලට දෙස්, විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත හැකිවන ආකාරයෙන් එම ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම ද මෙම වැඩසටහනෙහි තවත් අරමුණකි.
මෙම ආර්ථික මර්මස්ථාන තුළ මාස 06 ක කාලයක් දක්වා ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ යටතේ, පාසැල් ළමයින්ගේ දැනුම වර්ධනය කෙරෙන වැඩසටහන්, තාක්ෂණික වැඩ සටහන් ද ක්‍රියාත්මක කෙරේ. එයට අමතරව දෙසැම්බර් 10 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා කොළඹ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය තුළ නත්තල් සමය වෙනුවෙන් ද විවිධ වැඩසටහන් ද සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.
දේශීය ආර්ථිකය ගොඩනැංවීම, නිෂ්පාදනය ඉහළ නැංවීම, අපනයනය වැඩිකිරීම යන ක්‍රියාවලියන් තුළින් ව්‍යාවසායකත්වය වැඩිවන අතර, රටේ ආර්ථිකය දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ වාස්තු විද්‍යාඥ තුෂාරි කාරියවසම් ඇතුළු නිලධාරිහු රැසක් ද කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති ආරියශීලි වික්‍රමනායක, කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් චමින්ද විදානගමගේ, කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ උප සභාපති සුරංජිත් සුවාරිස් ඇතුළු ව්‍යාපාරිකයෝ පිරිසක් ද සහභාගි වී සිටියහ.