පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රියන්ත කුමාරගේ පවුලේ සාමාජිකයන්ගේ මුල්‍ය සුරක්ෂිතභාවය- විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ පාකිස්තාන නියෝජිතවරයා සමඟ සාකච්ඡා

    දෙසැම්බර් 10, 2021

    අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ මුල්‍ය සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ පාකිස්තාන නියෝජිතවරයා සමඟ සාකච්ඡා පවත්වයි

    පසුගිය සතියේ පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී මැර පිරිසක් විසින් ඝාතනය කරනු ලැබූ අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය / වන්දි ගෙවීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කොළඹ දී පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා හමු විය.

     

    පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දීර්ඝ කාලීන මිත්‍රත්වය සහ විශ්වසනීයත්වය පිළිබඳව අවධාරණය කළ අමාත්‍යවරයා, අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත සාධාරණය ඉෂ්ඨ කිරීම සඳහා පාකිස්තාන රජය නිසි පියවර ගනු ඇති බවට සිය විශ්වාසය පළ කළේ ය.

     

    පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහ්මූද් කුරේෂි මහතා සමඟ පවත්වන ලද දූරකථන ඇමතුම පිළිබඳව සිහිපත් කළ අමාත්‍යවරයා, කුරේෂි මහතා සිය ශෝකය ප්‍රකාශ කළ බවත් විමර්ශනයේ සියලුම තොරතුරු කඩිනමින් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට පොරොන්දු වූ බවත් ප්‍රකාශ කළේය.

     

    මෙම විමර්ශන කටයුතු පුද්ගලිකව සිය භාරයට ගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ක්‍රියාත්මක කිරීමට පියවර ගත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම ද විදේශ අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය. සියල්කොට් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පිරිනැමූ ඇමරිකානු ඩොලර් 100,000 ක මුදල් පරිත්‍යාගය මෙන්ම, ප්‍රියන්ත කුමාර මහතාගේ මාසික වැටුප ඔහුගේ වැන්දඹු භාර්යාවට ගෙවීමට ගත් ක්‍රියාමාර්ගය ද අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

     

    අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර මහතාගේ දරුවන් දෙදෙනාගේ අනාගතය පිළිබඳව ශ්‍රී ලංකා රජය සැලකිලිමත් වන බව සඳහන් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, නිසි කලට ඔවුන් වෙනුවෙන් මූල්‍ය ගෙවීම් ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේ ය. මෙම වැටුප කිසිදු බාධාවකින් තොරව සෑම මසකම ලබා දෙන බවට සහතික කෙරෙන යාන්ත්‍රණයක් සකස් කරන ලෙස එතුමා පාකිස්තාන නියෝජිතවරයාගෙන් ඉල්ලා සිටියේය.

     

    මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කළ වැඩ බලන මහ කොමසාරිස්වරයා, පූර්ණ විමර්ශනයක් පවත්වා එම පවුලට වන්දි ලබා දීම සඳහා පාකිස්තාන රජය නිසි පියවර ගෙන ඇති බව සහතික කළේ ය. පාකිස්තානයේ වෙසෙන අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පාකිස්තානයේ නීති බලාත්මක කිරීමේ ආයතන මේ වන විට කටයුතු කරමින් සිටින බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    විදේශ අමාත්‍යාංශය

    කොළඹ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya