පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමය විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන තිබෙනවා- ආයුර්වේද කොමසාරිස්

    දෙසැම්බර් 10, 2021

    දේශීය සහ ආයුරේවේද වෛද්‍ය ක්‍රමයට වර්තමානයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර, ඒ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතා පවසයි.

    “දේශීය වෙදකම ජාත්‍යන්තරයට” මැයෙන් (09) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.

    දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මෙනවිය ද සහභාගී වූ මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මෙහයවීය.

    කොවිඩ් වසංගත පශ්චාත් සමය තුළ දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සහ දේශීය ඖෂධවලට ඉතා ඉහළ වාණිජමය වටිනාකමක් හිමිව තිබේ. එබැවින් නව සැලසුම් ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට මෙය වටිනා අවස්ථාවක් බව ද ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළේය.

    බටහිර, දේශීය සහ ආයුරේවේද වෛද්‍ය ක්‍රමය මනා ලෙස සම්බන්ධීකරණයෙන් ඒකාබද්ධ සේවාවක් සැපයීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව ද ඒ මහතා පැවසීය.

    බෝ නොවන රෝග නිවාරණය සඳහා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පාසල් මට්ටමින් සහ ගෙයින් ගෙට යමින් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතර දේශීය ආහාර රටාවන් සඳහා ජනතාව හුරු කිරීම සහ වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මෙනවිය පැවසූවාය.

    අපේ රටේ මාතෘ මරණ අනුපාත දර්ශක සකස් කිරීමේ දී දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇති විභවතා සැලකිල්ලට ගෙන නොතිබීම කණගාටුවට කරුණක් බවත්, ශ්‍රී ලංකාවේ දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වූවක් බවත් මෙහිදී අවධාරණය කෙරිණ.

    දේශීය ඖෂධ විශාල ප්‍රමාණයක් අද වෙළෙඳපළට නිකුත් කිරීම සිදු වන බැවින් ඖෂධ පාලනය නියාමනය සඳහා ඉහළ අධීක්ෂණයක අවශ්‍යතාවය ද මතු කෙරිණි.

    කංසා වගාව නීතිගත කිරීමට ඇති සැලසුම් සහ වෙළෙඳපොළට නිකුත් කිරීම පිළිබඳ නිර්නායක මේ වන විට සකස් කර ඇතිදැයි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළේ, දේශීය වෛද්‍ය ක්‍රමයේ දළ ඖෂධයක් ලෙස කංසා භාවිතයට “1961 දේශීය ඖෂධ පනතින්” අවසර දී ඇති බවයි. වර්තමානයේ ඖෂධ සඳහා අවශ්‍ය කංසා ප්‍රමාණයන්හි හිඟයක් නැති අතර, දේශීය වෛද්‍යවරුන් සඳහා කංසා නිකුත් කිරීමේ දී කංසා චූරණයක් ලෙස පමණක් නිකුත් කිරීම සිදු වන බවද ඒ මහතා පැවසීය.

    ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යන සියලුම මධ්‍යස්ථාන නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර ආයුර්වේදය නමින් පවත්වාගෙන යන සියලුම නීති විරෝධී මධ්‍යස්ථානවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කෙරිණි.

    සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් පුහුණු ආයුර්වේද සම්භාහකවරුන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකය පිරිනැමීමට පියවර ගන්නා බවත් ඉදිරියේදී ඔසු උයන් සහ සංචාරක කලාප ආශ්‍රිතව සුව සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට ද සැලසුම් කර ඇති බව අනාවරණය කෙරිණ.

    ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය උදාර අතපත්තු මහතා ද මීට එක්ව සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya