පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    පොළොන්නරුව සොළොස්මස්ථාන පූජා භූමිය කඩිනම් සංවර්ධනයට පියවර

    දෙසැම්බර් 11, 2021

    පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (09) දින රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාව අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව දැනුම් දුන්නේය.

    සොළොස්මස්ථාන පූජා භූමිය විදුලියෙන් ආලෝකමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක මහනුවර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරාධිපති හා පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ශ්‍රාස්ත්‍රපති අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියෝ පෙන්වා දුන්හ.


    ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා වෙත දැනුම් දුන් අග්‍රාමාත්‍යතුමා ලබන වසරේ මැයි මාසයේ සිට පූජා භූමිය ආලෝකකරණයේ විදුලි බිල මධ්‍යම සංස්කෘතික අරමුදලින් ගෙවන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාට උපදෙස් දුන්නේය.


    දෙස් විදෙස් සංචාරකයන්ට සහ වන්දනාකරුවන්ට පූජා භූමිය තුළ පහසුවෙන් ගමන් කිරීමට හැකිවන ලෙස පූජා භූමිය ඇතුළත මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් දෙමින් අග්‍රාමාත්‍යතුමා පූජා භූමි සංවර්ධන සැළසුම කෙරෙහි සිය විශේෂ අවධානය යොමු කළේය. මනම්පිටියේ වැලි ගොඩදැමීමෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් යටතේ ඇති අරමුදලට ලැබෙන ආදායමෙන් යම් කොටසක් පූජා භූමි සංවර්ධනයට ලබාදෙන ලෙස ද අග්‍රාමාත්‍යතුමා මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතාට දැනුම් දුන්නේය.


    පූජා භූමියේ සිදුකරන ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේ සහය ලබාදෙන ලෙස මෙහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා අග්‍රාමාත්‍යතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කළහ.

    ඉදිරියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කර අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍යතුමා පැවසීය. ඉදිරි වසර 05 සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් ශ්‍රී ලංකාවේ පූජා භූමි සංවර්ධනයට ලැබෙන බැවින් එම මුදලින් යම් කොටසක් සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු සඳහා යොදනබව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනෙරත් මහතා මෙහිදී දැනුම් දුන්නේය.


    පොළොන්නරුව සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු සඳහා මුල පිරුවේ අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිවරයාව සිටියදී බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය ආණ්ඩු කාලයේ ඒ සියලු කටයුතු නැවතී තිබුණු බව සඳහන් කළේය.


    සොළොස්මස්ථාන පූජා භූමියේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු අධික්ෂණය කරන ලෙස අග්‍රාමාත්‍යතුමා විසින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මෙහි දී උපදෙස් දුන්නේය.


    සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, මහනුවර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරාධිපති, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ශ්‍රාස්ත්‍රපති අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමි සහ පොළොන්නරුව ගල්විහාර භාරකාර පූජ්‍ය කන්දනැටියේ අත්ථදස්සී හිමි මෙහි වැඩමකර සිටියහ.

    මෙම අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන්වන රොෂාන් රණසිංහ, විදුර වික්‍රමනායක, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ, පොළොන්නරුව මහා නගර සභාවේ නගරාධිපති චානක සිදත් රණසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අමාත්‍යාංශ ලේකම්වරුන්වන මහාචාර්ය කපිල ගුණවර්ධන, ආර්.ඩබ්ලිව්. ආර්. පේමසිරි, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි, විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, පූජා භූමි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ටී.ආර්. විතාන, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) එන්.ආර්. ළමාහේවා, ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එච්.ගාමිණි හේවගේ මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya