විශ්ව විද්‍යාල පනත යටතේ අධ්‍යයන නිදහසක් ලබාදී තිබුනද අනධ්‍යන අංශ පරිපාලන රෙගුලාසි හා නීතිරීතිවලට අනුගත විය යුතු බව කෝප් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඇතැම් විශ්ව විද්‍යාල පශ්චාත් උපාධි අධ්‍යයන අංශ ආදිය තමන් මුදල් උපයන බැවින් ඇතැම් අනධ්‍යයන සේවක බඳවා ගැනීම් තම අභිමතය පරිදි සිදු කිරීමේ ප්‍රවණතාවක් පවතින බවත් එය එසේ නොවියයුතු බවත් අවධාරණය කළේය. එබැවින් මෙම තත්ත්වය පිළිබද අවධානයෙන් පසුවන ලෙස ද කෝප් සභාපතිවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබා දුන්නේය.
1996 වසරේ නිකුත් කරන ලද කැබිනට් තීරණයක් මත විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ පහළ තනතුරු වල බඳවා ගැනීමේදී ඇතිවී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. පුවත්පත් දැන්වීම් හරහා අයදුම්පත් කැඳවීම මගින් සහ අමාත්‍යවරයාගේ යෝජනාව අනුවද මෙම බදවා ගැනීම් සිදු කළ හැකි බව සදහත් බව මෙහිදී අනාවරණය විය.
1996 දී ලබා දුන් මෙම කැබිනට් තීරණය අනුව සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේම පහළ අනධ්‍යන සේවකයන් බදවා ගැනීම සිදුවන බැවින් මෙම තත්ත්වය නිවැරදි විය යුතු බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා පැවසීය. ඒ අනුව මෙම කැබිනට් තීරණය වෙනස් කිරීම සදහා අමාත්‍යාංශ මට්ටමින් කටයුතු කිරීමේ හැකියාව ඇති බව කෝප් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග එක්ව තීරණයක් ගන්නා ලෙස කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.
2019 වර්ශයට අදාළ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විගණකාධිපතිවරයාගේ වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද විමර්ශනය සදහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) පැවති කෝප් කමිටු රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.
Z අගය මත විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගන්නා පිරිසට බාහිරව විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අභියෝගතා පරික්ෂණ මගින් ඇතුළත් කර ගැනීම අනවශ්‍ය බව තීරණය කරන්නේ නම් එය අහෝසි කිරීමට හෝ අවම කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ද කෝප් කමිටුව නිර්දේශ කළේය. 2012 වසරේදී විශේෂ කැබිනට් අනුමැතියකට අනුව විශ්ව විද්‍යාල 13 ක, පාඨමාලා 38 ක් සඳහා සිසුන් බදවා ගැනීමට අභියෝගතා පරීක්ෂණ ක්‍රමය හඳුන්වා දී ඇති බවද මෙහිදී අනාවරණය විය. එම පාඨමාලා සඳහා වෙනම අදාළ විශ්ව විද්‍යාල මගින් ඇතුළත් වීමේ පරීක්ෂණ පැවැත්වීම සිදු කෙරේ.
මෙහිදී අදහස් දක්වමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා සිටියේ මෙසේ තෝරා ගන්නා පාඨමාලා ප්‍රමාණය අවශ්‍ය පරිදි අඩු කිරීම හෝ අහෝසි කිරීම සිදු කළ යුතුයි යන්න සිය මතය බවයි. මෙම පරීක්ෂණ ක්‍රමය නිසා Z අගය මත සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමේ ජාතික ප්‍රතිපත්තියට යම් හානියක් සිදුවන බව පෙනී යන බැවින් මේ පිළිබද සුදුසු තීරණයක් ගන්නා ලෙස මෙහිදී කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ඇතැම් පාඨමාලා සදහා මෙසේ පරීක්ෂණයක් පැවැත්වීම අනවශ්‍ය බව මේ වන විට හදුනා ගෙන ඇති බැවින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ බව විශ්ව විද්‍යාලවලට දක්වා ඇති බවද අනාවරණය විය. නව පාඨමාලා ඉදරිපත් කරන විට ඒ සදහා අභියෝගතා පරීක්ෂණවලට අවසර ලබා නොදෙන බවද මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙහිදී පැවසීය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ 03/2021 දරන චක්‍රලේඛය නිසා ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් පත් කිරිමේදී වඩාත් පාරදෘශ්‍ය ක්‍රමවේදයක් අවශ්‍ය බැවින් රාජ්‍ය ප්‍රතිපත්තිවලටද ගරු කරමින් විශ්විද්‍යාල නිදහසද ආරක්ෂා කර ගනිමින් කටයුතු කළ යුතු බව කෝප් සභාපතිවරයා පැවසීය. උක්ත චක්‍රලේඛය සම්බන්ධව මතුවී ඇති ව්‍යාකූලතා පිළිබදව විෂය භාර අමාත්‍යවරයා, ලේකම්වරයා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡා කොට අවශ්‍ය වෙනසක් වෙතොත් සිදු කිරීම සුදුසු බව කෝප් සභාපතිවරයා පැවසීය.
චක්‍රලේඛනිකුත් කරන විට පනත අතර මත ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කිරිමේ වැදගත්කමද සභාපතිවරයා අවධාරණය කළේය. එසේම පනත සංශෝධනයට හෝ නව පනතක් ගෙන ඒමට අවශ්‍ය නම් ඒ සදහා කැබිනට් අනුමැතියක් මගින් අදාළ ක්‍රමවේදය ආරම්භ කළ යුතු බවද මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දුන්නේය.
තවද 2009 - 2017 දක්වා කාලයේ පශ්චාත් උපාධි හැදෑරීම සදහා ප්‍රතිලාභින් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 13 දෙනෙකුට රු මිලියන 25ක් ලබා දී තිබුණද ඔවුන් මේවන විට උපාධි පාඨමාලා අතහැර දමා තිබීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. එසේම 2017 වසරේදී විශ්ව විද්‍යාල 8 ක කථිකාචාර්යවරු 12 දෙනෙකු රු.මි. 34.3ක මුදලක් පර්යේෂණ සඳහා අනුමත කරගෙන තිබුණ ද එය භාවිතයට ගෙන නැති බවද මෙහිදී අනාවරණය විය.
පසුගිය කාලය තුළ ආචාර්ය උපාධිය හදාරා ඇති 15 දෙනෙකු විශ්ව විද්‍යාලවලින් ඉවත් වී ඇති බවද අනාවරණය විය. මෙවැනි තත්ත්වයක ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු කිරීමේ වැදගත්කම කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
2020 වසරේදී ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කොට උසස් අධ්‍යාපනය සඳහා වෙනම අනු කමිටුවත් පත් කළ බවත් සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් එක්වී විශ්ව විද්‍යාල වල ඉදිරි ගමන් මග කෙසේද යන්න සවිස්තරාත්මකව වාර්තා කළ බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා මෙහිදී පැවසීය. වඩාත් වැදගත් වන්නේ මෙය පදනම් කරගෙන උපාය මාර්ග 09ක් ඔස්සේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් මගින් ඉදිරියට යෑම ආරම්භකොට තිබීම බව කොමිසමේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙය ජාතික වටිනාමකින් යුතු වැඩපිළිවෙලක් බැවින් එය පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට ද ඉදිරිපත් කොට වඩාත් ශක්තිමත්ව ස්ථාපිත කිරීමට අවස්ථාව ලබා දීම සුදුසු බව කෝප් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
නවකවදය අවම කිරීම සදහා මිලියන 34ක් වියදකොට විශ්ව විද්‍යාල වල පිහිට වූ මධ්‍යාස්ථාන වල ප්‍රගතිය පිළිබදවද කෝප් කමිටුව කරුණු විමසන ලදී. 2015 වසරේදී පිහිටුවා ඇති මෙමගින් නවකවදය සම්බන්ධ පැමිණිලි වාර්තා කිරීම සදහා ක්‍රමවේදයක් අන්තර්ගතවන බව කරුණු අනාවරණය විය. මේ සම්බන්ධව එක් එක් විශ්ව විද්‍යාල මට්ටමින් මෙහි ක්‍රියාකාරීත්වය කෙතරම් ඵලදායි වන්නේද යන්න සොයා බලා වාර්තාවක් කෝප් කමිටුවට සෙක් තුළ ලබා දෙන ලෙසත් මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය.
අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, සරත් වීරසේකර,. රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ජයන්ත සමරවීර, ජගත් පුෂ්පකුමාර සහ මධුර විතානගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.