ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 2509 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996ක තොගය (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 06 දෙනා අද (2021 දෙසැම්බර් 15) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එය නිරීක්‍ෂණය කිරීමට ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරු සහභාගී වූහ.
ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා එක්ව ශ්‍රී ලංකා නාවික නෞකා සයුර ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් ආවේක්‍ෂණය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී ගොඩබිම සිට නාවික සැතපුම් 900ක පමණ දුරින් (කිලෝ මීටර් 1665ක් පමණ) ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම බහුදින යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර නවයක් (09) තුළ පැකට් 225ක් ලෙස අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ක ග්‍රෑම් 996ක පමණ (ඇසුරුම් බර සහිතව) තොගයක් සොයා ගැනීමෙන් අනතුරුව, එම විදේශීය බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි විදේශීය ජාතික සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට ගන්නා ලදි. ඒ අනුව, එලෙස අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ විදෙස් ජාතික සැකකරුවන් 06 දෙනා අද (2021 දෙසැම්බර් 15) උදෑසන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ ආරක්ෂාව යටතේ කොළඹ වරාය වෙත මෙලෙස රැගෙන ඒමට කටයුතු කෙරිණි.
තවද, මීට පෙර නාවික හමුදා බුද්ධි අංශය, අනෙකුත් බුද්ධි සේවාවන් හා එක්ව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් මෙම වර්ෂයේ (2021) අගෝස්තු මස 30 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක්ද, සැප්තැම්බර් 04 වන දින හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 336යි ග්‍රෑම් 300ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය බහු දින ධීවර යාත්‍රාවක් සහ සැප්තැම්බර් 10 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 170 ග්‍රෑම් 866ක තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය බහු දින ධීවර යාත්‍රාවක්ද අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අනුව, 2021 වර්ෂයේ මේ දක්වා නාවික හමුදාව විසින් සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය පමණක් කිලෝ 1268 ග්‍රෑම් 826ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති අතර, එම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් බිලියන 12.26කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකරමින් ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද විදේශ ජාතික සැකකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර, අත් අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය, විදේශීය ජාතික සැකකරුවන් සහ විදේශිය බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ෂණ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතව ඇත.
SL Navy