පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය විචිත්‍රවත් ලෙස අවසන් වෙයි

    දෙසැම්බර් 18, 2021

    ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා සාහිත්‍ය කලාව නංවාලීමේ අරමුණින් ජාතික සාහිත්‍ය උත්සවයට සමගාමීව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලැබූ "කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය" ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද හා සරසවි ප්‍රකාශන අධිපති එච් ඩී ප්‍රේමසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (17) දින කොළඹ 05, නාරාහේන්පිට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනි.

     

    කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේදී ලාංකේය කලාවට ජාතික වශයෙන් සිදු කළා වූ සේවාව අගය කිරීම වෙනුවෙන් තෝරාගත් කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨ කලාකරුවන් වන උදේනි අල්විස්‌, ඩබ්‌.ටී. සෝමවීර ගමගේ, ඒ.ඩී අබේසිංහ, නිමල්‌ බුලත්සිංහල, මැණිකේ අත්තනායක, මෙලනි අසෝකා, කරුණාදාස පතිරත්න, පී.ඩී. පියදාස, ආර්‌.ඒ. දර්ශනී චන්ද්‍රෙස්න, සේන ගනේවත්ත, නන්ද උඩුවිල, පෙරියසාමි සිතාරාමන්, සේන මුදන්නායක යන මහත්ම මහත්මීන් අගයමින් “කොළොම්තොට අභිනන්දන” සම්මාන ප්‍රදානය සිදුවිය.

    කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයේ වැඩසටහන් පෙළ ගැස්මට එක් වූ තවත් විශේෂාංගයක් වූයේ කොළඹ යුගයේ කාව්‍ය පිලිබඳ විවරණයක් ගෙන එන “කාව්‍ය විමංසා” ග්‍රන්ථය එළි දැක්වීමයි. එමෙන්ම වොයිස් ඔෆ් කලම්බෝ (Voice of Colombo) ගායන තරගයේ විනීශ්චය මණ්ඩලය වන ප්‍රවීන ගායන ශිල්පී රෝහණ සිරිවර්ධන, ප්‍රවීන ගායන ශිල්පිනි නෙරංජලා සරෝජනී, ප්‍රවීන මාධ්‍යවේදී වැඩසටහන් අධ්‍යක්ෂ අතුල රන්සිරිලාල්, ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බෝගොඩ යන මහත්ම මහත්මීන් ඇගයීමට ලක්කරමින් සම්මාන ප්‍රදානය කිරීමත් සිදුවිය.

    විවිධ සංස්කෘතික අංග වලින් විචිත්‍රවත් වූ සාහිත්‍ය මංගල්‍යයේදී ප්‍රාදේශීය අංකුර සාහිත්‍ය නිර්මාණ ශිල්පීන්ගේ කුසලතා එළිදැක්වීමට අවස්ථාවක් ලබාදෙමින් සංවිධානය කල දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියේ විවිධ අංශවලින් ජයග්‍රහණ ලබාගත් ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමිමටද කලා උළෙලේදී කටයුතු සූදානම් කර තිබුණි.

    විඩාපත් සිත් සුවපත් කිරීමට කලාකරුවන්ගේ ඇසුර හා ඔවුන්ගේ නිර්මාණ ඉවහල් වන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා උත්සව අවස්ථාවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. කොරෝනා වසංගත තත්වය දරුණු ලෙස පැතිරුණු කොළඹ දිස්ත්‍රික්කයේ සේවය කරන නිලදරුවන් ඔවුන්ගේ වෙහෙසකර රාජකාරි ජීවිතය තුල කලාවට නැඹුරුවීම නිසා මානසික සුව අත්විදින බවද ඒ මහතා පැවසිය.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, දිස්ත්‍රික්කය නියෝජනය කරන කලාකරුවන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරනි අනෝමා ගමගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, කලාකරුවන්, ත්‍යාගලාභී දුදරුවන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගිවිය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya