පසුගිය සති කිහිපය ඇතුළත ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් සහ ගිනිගැනීම් ගණනාවක් වාර්තා වීමෙන් පසු ඒ පිළිබඳව විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස ජනාධිපතිතුමා විසින් අට පුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව සම්පාදනය කළ වාර්තාව ජනාධිපතිතුමා වෙත ඊයේ (20) භාර දෙන ලදී. වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව විවරණය කෙරෙන මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් (21) දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ සංවිධාන කර තිබිණ.
මේ අවස්ථාවට එක් වූ මහාචාර්ය ශාන්ත වල්පොල මහතා පෙන්වා දෙන පරිදි 2021 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් මැද වන තෙක් ගෑස් ආශ්‍රිත අනතුරු සිදු වී ඇත්තේ සුළු ගණනකි. නමුත් නොවැම්බර් මැද සිට අනතරු සීඝ්‍ර ලෙස ඉහළ යාමක් වාර්තා වීමෙන් ගෑස් සිලින්ඩරය ආශ්‍රිතව යම් අනතුරුදායක තත්ත්වයක් තිබෙන බැවින් ඒ ඔස්සේ විමර්ෂණය ආරම්භ කර ඇත. මෙම සිදු වූ අනතුරු ආශ්‍රිත පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීම, ගෑස් සපයන ප්‍රධාන සැපයුම්කරුවන්ගේ ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම, අනතුරු සිදු වූ ස්ථාන වල ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම හා ඒ සම්බන්ධව පොලිස් වාර්තා ලබා ගෙන විමර්ෂණය කිරීමෙන් ගෑස් සංයුතියේ සිදු වූ වෙනස් වීමක් නිසා මෙවැනි අනතුරුදායක තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තාවෙන් අනාවරණය වන බව මහාචාර්යාවරයා ප්‍රකාශ කළේය.
ලංකාවට ගෑස් ගෙන්වීමේ ක්‍රියාවලියේ සිට ගෑස් පිරවීම, ගෑස් ටැංකියේ ප්‍රමිතිය, ගෑස් උපයෝගි කර ගනිමින් භාවිත කරන උපකරණ ආදී සියලු ක්‍රියාවලිය තුළම යම් නියාමනයක් අවශ්‍ය බව සභාපතිවරයා සඳහන් කරයි. මේ නියාමනය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රි ලංකා කාර්මික තාක්ෂණ ආයතනය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, පාරිභෝගික සේවා අධිකාරිය, ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු ප්‍රධාන ගෑස් සමාගම් ඇතුළු ආයතන කිහිපයක් සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇත.
සංයුතියේ ඇති වූ වෙනස හේතුවෙන් මහජනතාවට සිදු වන අනතුරු හා අපහසුතාවන් වළක්වමින් මෙවැනි තත්ත්වයක් නැවත උද්ගත නොවීම උදෙසා කටයුතු කිරීමට මෙම කමිටුව තීරණ කිහිපයකට එළඹ ඇත. ජනතාවට ආරක්ෂා සහිතව ගෑස් සැපයීම, සංයුතිය සියයට 30 ට වඩා අඩු වීම, ගෑස් කාන්දු වීම හඳුනා ගැනීම සඳහා ගෑස් වලින් පිටවල ගන්ධය වැඩි කිරීම ඒ අතර වේ. එවැනි තත්ත්වයක් තුළ ජනතාවට කිසිදු බියකින් තොරව ගෑස් භාවිත කිරීමේ හැකියාව පවතින බව මෙම කමිටුව පෙන්වා දෙයි.
මේ අවස්ථාවට කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ඩබ්.ඩි.ඩබ්.ජයතිලක, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු මහතා, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි මහතා, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගමගේ මහතා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සාලිය ජයසේකර මහතා සහභාගි වූහ.