ඒ අනුව මෙම රෝහලේ ඉදි කිරීම් තවදුරටත් පමා නොවිය යුතු බවත් ඉතා කඩිනමින් එය රෝගී ප්‍රතිකාර සේවා සඳහා යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා කීය.
ජාතික සම්පතක් වන මෙම රෝහලෙහි නිසි කලට නිසි පරිදි වැඩකටයුතු නොවීම ගැන කණගාටු වන බව මෙහිදී පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සදහා වර්තමානයේ එහි ඉදිකිරීම් බාරව සිටින කොන්ත්‍රාත්කරුවන් වගකිව යුතු බවද පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම මාතෘ රෝහලේ ඉදිකරිම් කටයුතු ඇතුළු වත්මන් තත්ත්වය පසුගියදා නීරික්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කීය.
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ද එක්ව සිටියේය. නව මාතෘ රෝහලේ ඉදිකිරීම් කටයුතු වලට අදාල ඉදිරි සැළසුම් පිළිබදව කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයින් සහ අදාල නිලධාරින් සමග සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් හුවමාරු කර ගනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කිසිවෙකුට ඇගිල්ල දිගුකර, වරද කීමෙන් ඵලක් නොමැති බවත්, ඉතිරි වැඩ කටයුතු අවසන් කර ගැනිම සදහා ක්‍රමවේදයක් සකසා ගැනිම සිදුකළ යුතු බවයි.
2004 දෙසැම්බර් මස 26 දින මෙරටට බලපෑ සුනාමියෙන් හානියට පත් වූ මහමෝදර මාතෘ රෝහල කරාපිටියේ නව රෝහලක් ලෙස ඉදිකිරිමට එවකට ජර්මනියේ චාන්සලර්වරයාව සිටි ආචාර්ය හෙල්මට්කෝල් මහතා තීරණය කළ අතර හෙල්මට්කෝල් පදනම විසින් පිරිනැමුණු ප්‍රදානයන් මගින් රජය විසින් ලබාදුන් ඉඩමක පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස මෙහි ඉදිකිරිම 2005 වසරේදී ආරම්භ කෙරිණි.
මුල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් 2008 වසරේ දී මෙම ව්‍යාපෘතිය ඇනහිටි අතර 2012 වසරේදී මෙම රෝහලේ නැවත ඉදිකිරිම් ඇරඹීම සදහා ජර්මනියේ KFW (පුණර්නිර්මාණි බැංකුව) හා මුදල් අමාත්‍යාංශය අතර, ඇති කරගත් ගිවිසුමක් මගින් යුරෝ මිලියන 28ක සහන මුදල් මේ සදහා වෙන් කෙරිණි.
මෙසේ ඉදිකෙරන මෙම මාතෘ රෝහල ඇදන් 600 කින්, ශල්‍යාගාර 06කින්, නව ජන්ම හා දැඩිසත්කාර ඒකක 02කින් සමන්විත නවීන පහසුකම්වලින් යුතුව දකුණු පළාතේ ඉදිකෙරන ප්‍රථම මාතෘ රෝහල වේ.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ.) වෛද්‍ය ජී.විජේසූරිය යන මහත්වරු සහභාගී වූහ.