මීට අමතරව, සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි දක්වා ඇති පරිදි, දැනට සාකච්ඡා කෙරෙමින් පවතින අනෙකුත් පහසුකම් කිහිපයක් සම්බන්ධයෙන් වන විදේශ මුදල් ලැබීම්, 2022 වසරේ ජනවාරි මස ආරම්භයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා ක්‍රම හඳුන්වා දීම සහ අපනයන ආදායම මෙරටට ගෙන්වා ගැනීමේ හා පරිවර්තනය කිරීමේ නීතිරීති වැනි දේශීය වෙළඳපොළෙහි විදේශීය මුදල් ද්‍රවශීලතාව ඉහළ දැමීම සඳහා ගත් ක්‍රියාමාර්ග නිල විදේශ සංචිත තවදුරටත් ගොඩනැගීමට උපකාරී වනු ඇත. සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත යථා තත්ත්වයට පත් වීම සහ අපනයනවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය සමඟින්, විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් වනු ඇත. ඒ අනුව, 2022 වසර පුරාවටම විදේශ සංචිත තත්ත්වය හිතකර මට්ටමක පවතිනු ඇති බවට රජයෙහි සහ මහ බැංකුවෙහි විශ්වාසය වේ.
මෙවැනි පසුබිමක් තුළ, විදේශ මුදල් ලැබීම් පැහැදිලිවම ලැබෙනු ඇති බව සහතික වී තිබියදීත්, ඇතැම් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමට ගත් හදිසි තීරණ හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ද්විතීයික වෙළඳපොළ ආයෝජකයන් හට අනවශ්‍ය පාඩු සිදුවී ඇත. එවැනි ශ්‍රේණිගත කිරීම් ක්‍රියාවන් ආයෝජකයින්ගේ විශ්වාසය කෙරෙහි සෘණාත්මකව බලපා ඇති අතර, එවැනි අනවශ්‍ය හා ප්‍රශ්නකාරී ක්‍රියාවන් සිදු නොවුනේ නම්, ලැබීමට තිබූ ඇතැම් අපේක්ෂිත විදේශ මුදල් අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව මීට පෙර වුවද ලැබීමට ඉඩ තිබුණි.