කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ උදෙසා සිදු කෙරෙනු කප්රුක් පූජාවට, ගිලන්පස සහ ඖෂධ පූජාවට එක්වෙමින් නායකයන් දෙපළ චෛත්‍ය වන්දනාමාන කළහ. කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියෝ රැස්ව සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවමින් ආගමික වතාවත් සිදු කළහ. අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා මහසෙන් දේවාලය, ඓතිහාසික කිරි විහාරය වැද ආශිර්වාද ලබාගත්හ.
2021 වසර අවසානය සනිටුහන් කරමින් කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිරිපිට භූමි පරිශ්‍රයේ සුදු හඳුන් පැළයක් රෝපණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. කිරිවෙහෙර සිට රුහුණු කතරගම මහා දේවාලය වෙත ගමන් කළ ජනාධිපතිතුමාට දෙපස සිටි මල් අලෙවිකරුවන් මල් පිරිනැමීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම පූජා භූමියට රැස්ව සිටි ජනතාව සමග කතාබහ කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.
ඓතිහාසික කතරගම මහා දේවාලයේ අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස පැවති සෙත් පිරිත් සජ්ඣායනය ශ්‍රවණයට ද ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා එක් වූහ. සෙත් පිරිත් සජ්ඣායනයට මහා සංඝරත්නය හාරසීය නමක් වැඩම කර සිටියහ.
ඊට සමගාමීව සාමනේර භීක්ෂූන් වහන්සේ උදෙසා ශිෂ්‍යත්ව ප්‍රදානය ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා අතින් සිදු කෙරිණ. අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කතරගම පුදබිමෙහි වාර්ෂිකව සංවිධානය කරන පිරිත් පිංකම සඳහා සධාතුක ධාතූ කරඬුව වැඩම කරවීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.
මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමා, අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම ආගමික වතාවත් සඳහා එක්ව සිටියහ.