පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ විශේෂ ආශිර්වාද පූජාව ජනපති සහභාගීත්වයෙන්

    ජනවාරි 02, 2022

    ජනාධිපතිතුමනි, ඔබ යන ගමන නිවැරදියි. එය සාර්ථක කරගැනීමට හැකි වුවහොත් ඉදිරි පරපුරේ අනාගතය සුබ වේවි.

    සිතුල්පව්ව රාජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියෝ පවසති.

    ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ (01) පස්වරුවේ පැවති විශේෂ ආශිර්වාද පූජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී විය.

    සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.
    ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පැවරීමේ සන්නස් පත්‍රය බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිතුමා පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් වෙත පිළිගැන්වීය.

    සිතුල්පව්ව රාජමහා විහාරය අවට විහාරස්ථාන හතරක් පූජා භූමි බවට පත්කළ බව දැනුම් දෙන “නිදහස් දීමනා පත්‍ර” ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරු එම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වූහ.

    “ජනාධිපතිතුමනි, “සෞභාග්‍යයේ දැක්ම” තුළින් ඔබ යන ගමන නිවැරදියි. එය සාර්ථක කරගැනීමට හැකි වුවහොත් ඉදිරි පරපුරට එහි ප්‍රතිඵල අත්විඳීමට හැකි වේවි” යැයි මෙහිදී අනුශාසනාව කළ සිතුල්පව්ව රාජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියෝ සඳහන් කළහ. “කුමන හොඳ දේ කළද ඊට අකුල් හෙලන විදේශ මුදල් මත යැපෙන පිරිසක් මෙ රටේ සිටිති. වස විසෙන් තොර ආහාර වේලක් ලබාදී නීරෝගිමත් ජාතියක් බිහි කිරීමට ජනාධිපතිතුමා පිරිසිදු චේතනාවෙන් ගෙන යන වැඩපිළිවෙළට ද ඔවුහු අකුල් හෙලති. “සෞභාග්‍යයේ දැක්ම” සාර්ථක කරගැනීමට හැකි වුවහොත් රට ඉතා වාසනාවන්ත බව” හේමරතන හිමියෝ සඳහන් කළහ. “රටේ දියුණුවට ඊර්ෂ්‍යා කරමින් බලය ලබාගැනීමට සහ සෞභාග්‍යයේ දැක්මෙහි ප්‍රතිඵල වෙනුවෙන් තවත් වසර කිහිපයක් ඉවසිය නොහැකි පිරිසක් සිටින බව ද” මැටරඹ හේමරතන හිමියෝ පැවසූහ.

    සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයට පැමිණෙන මාර්ගයේ ඉදිකිරීමට යෝජිත වාහල්කඩ සඳහා මුල්ගල තැබීම චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර යන අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    හේවිසි සහ සක් හඬ මධ්‍යයේ සිදු කෙරුණු ජයසංඛ පූජාවට සහ බෝධි පූජාවට ජනාධිපතිතුමා සහභාගී විය.

    දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් රාජපක්ෂ, සුදර්ශන දෙනිපිටිය, ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පතිතුමා ඇතුළු පිරිසක් මෙම ආගමික වතාවත් සඳහා එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya