මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අනෙකුත් සියළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව මෙරට වෙරළ කළාපය සහ මුහුදු තීරය පමණක් නොව අනෙකුත් බුද්ධි සේවාවන් සමඟ ජාත්‍යන්තර මුහුදේත් ආවේක්‍ෂණ කටයුතු සිදු කරමින් නිරන්තර අවධානයෙන් යුතුව මෙහෙයුම් සිදු කිරීම මඟින් මෙලෙස විශාල මත්ද්‍රව්‍ය තොගයක් 2021 වර්ෂයේදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.
ඒ අනුව, මෙරට සාගරික වපසරිය තුළ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් ආවේක්‍ෂණය කරමින් අවස්ථා 74කදී සිදුකළ මෙහෙයුම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1268කට අධික තොගයක් සමඟ දේශීය සැකකරුවන් 119ක් සහ විදේශීය සැකකරුවන් 22ක් ද, අවස්ථා 151කදී සිදුකළ මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 7095කට අධික තොගයක් සමඟ දේශීය සැකකරුවන් 186ක් සහ විදේශීය සැකකරුවන් 07ක් ද ගෙවීගිය 2021 වසර තුළදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකිවිය.
එමෙන්ම, ක්‍රිස්ටල් මෙතම්පිටමයින් (Crystal Methamphetamine) හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 158කට අධික තොගයක් සමඟ සැකකරුවන් 98 දෙනෙකු අවස්ථා 73කදී නාවික හමුදාව සිදුකළ මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර, අවස්ථා 16කදී සිදුකළ මෙහෙයුම් මඟින් දේශීය ගංජා කිලෝ 69කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 27ක් ද, අවස්ථා 08කදී සිදුකළ මෙහෙයුම් මඟින් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 88කට අධික තොගයක් සමඟ දේශීය සැකකරුවන් 09ක් ද ගෙවීගිය වර්ෂයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.
තවද, මත්ද්‍රව්‍ය උවදුරෙන් දැයේ අනාගත පරපුර බේරා ගැනීම උදෙසා රජය ගෙනයන වැඩපිලිවෙල සාර්ථක කර ගැනීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මඟපෙන්වීම මත, ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නායකත්වය යටතේ 2022 වර්ෂයේදීද ශ්‍රී ලංකා නාවික හමුදාව තම දායකත්වය උපරිම ශක්ති ප්‍රමාණයෙන් ලබා දීමට නිරතුරුව සූදානමින් සිටී.