මෙරට කාන්තා ජනගහනයෙන් 30% ක පමණ පිරිසක් කාන්තා ශ්‍රම බලකායෙන් රටේ ආර්ථිකයට දායක වන විට ඉතිරි 70% ක පමණ පිරිසක් එයින් දුරස් වී තිබෙනවා. ඒ ශ්‍රම බලකාය සොයා ඔවුන් මෙරට ආර්ථිකයට දායක කර ගත්ත දිනට අපට කිසිම රටකට දෙවෙනි වීමට අවශ්‍ය වන්නේ නැහැ යැයි නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසීය.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ, (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු " Wise Woman " ජාතික වැඩසටහනේ දීය .
වැඩිදුර අදහස් දැක් වු අමාත්‍යවරිය,
"මෙය කාන්තාව සවිබල ගන්වන තවත් එක් වැඩසටහනක් නම් නොවෙයි, අද වන විට රටේ සමස්ත කාන්තා නියෝජනය 52% ක් නමුත් එම කාන්තා නියෝජනයෙන් අපහට උකහා ගන්නට බැරිවුන ශක්තිය මේ රටේ ආර්ථිකයට උකහා ගැනීම වෙනුවෙන් ඇයට ආරාධනා කිරීමටයි අපි අද මේ වැඩසටහන සංවිධානය කළේ. අද වන විට අපේ වගකීම වනුයේ අනාගත ශ්‍රී ලංකාව ගොඩනැගීමට ඇගේ ශක්තිය දායක කර ගැනීමට අප හට ඇති බාධක ඉවත් කිරීමට සහයෝගය ලබා දීමයි .එලෙසම අපි කල්පනා කළ යුතුයි කාන්තාව ශ්‍රම බලකායෙන් ඉවතට යන හේතු මොනවාදයි කියා.එම හේතු සොයා ඒවාට අපි පිළියම් යෙදිය යුතුයි. පවුල් බර නිසා නිසා ,මාතෘත්වය නිසා සිදුවන ගැටළු වලට විසදුම් ලබාදිය යුතුයි. පුද්ගලික අංශයේ මාතෘ නිවාඩු වලට සහනයක් ලබා දිය යුතුයි කියා විස්වාස කරනවා. ඇයට සමාජය තුල හිමි නිසි ස්ථානය ලබා දිය යුතුයි. අප අමත්‍යාංශය හරහා අධ්‍යාපනයෙන් කුසලතාවයෙන් පිරිපුන් කාන්තා පරපුරක් ඇතිකිරීමට නිපුණතා උදානය නමැති වැඩසටහන් ව්‍යාපෘතිය දැනටමත් සකස් කර අවසන්" යැයි අමාත්‍යවරිය සදහන් කරන ලදි.
මෙම අවස්ථාවේ දී ශ්‍රී ලාංකීය නාමය විවිධ ක්ෂේත්‍ර තුළින් ජාතික සහ ජාත්‍යන්තරය තුළ සනිටුහන් කළ
• ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, විද්‍යාඥ නීලිකා මලවිගේ,
• ශ්‍රී ලංකා සමුද්‍රජීව විද්‍යාඥ ආශා ඩි වොස්,
• හේමාස් පුද්ගලික ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිළධාරී කස්තුරි චෙල්වරාජා විල්සන්,
• රොල්ස් - රොයිස් ජාත්‍යන්තර ආයතනයේ කළමණාකාරිණි (ඩිජිටල් තාක්ෂණවේදී) නිපුනි කරුණාරත්න,
• යාන්ත්‍රික සහ රොබෝ තාක්ෂණ ඉංජිනේරු මෙලනි මහආරච්චි,
• ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් නියමුවරියන් දෙදෙනා වන රංගනා වීරවර්ධන සහ පවිත්‍රා ගුණරත්න,
• වින් ස්ටෝන් හෝටල් සමුහයේ කළමනාකාර අධ්‍යක්ෂ අයන්ති ගුණවර්ධන,
• 2020 ඔලිම්පික් තරඟාවලියේ බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් කටයුතු කළ නෙල්කා ශිරෝමාලා,
• ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) ප්‍රථම කාන්තා සභාපතිවරිය ලෙස පත් වූ තිලංකා අබේවර්ධන,
යන විශිෂ්ට කාන්තාවන් ඇගයීමට ලක්කිරීම මෙම වැඩසටහන තුළදී සිදුකෙරුණු අතර, අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් එම ඇගයීම් සම්මාන පිරිනමන ලදී.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, කාන්තා හා ළමා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා, පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමා ඇතුළු මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අධ්‍යාපන, සමාජ , ආර්ථික ක්ෂේත්‍රයේ ඉහළින් සිටින කාන්තා නියෝජන පිරිසක් ඇතුළු රාශියක් සහභාගි විය.