පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ත්‍රිවිධ හමුදාවන්හී මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින්ගේ දැනුම ප්‍රවර්ධනය කිරීමට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය වෙතින් සම්මන්ත්‍රණයක්

    ජනවාරි 15, 2022

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංකල්පයකට අනුව ‘සමකාලීන ලෝකයේ හමුදා නායකත්වය: රණශූරයෙකුගේ සිට අවශ්‍ය මිතුරෙකු දක්වා පරිනාමය වීම’ යන තේමාව ඔස්සේ ත්‍රිවිධ හමුදාවන්හී මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින් වෙනුවෙන් එක්දින සම්මන්ත්‍රණයක් (13 දින ) උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    ‘සන්නද්ධ හමුදා’ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ගේ නායකත්ව ලක්‍ෂණ, සාරධර්ම සහ ගුණාංග ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම නායකත්ව සම්මන්ත්‍රණය තුලින් නිලධාරියෙකුට තම දැනුම හා කුසලතාවන්ගෙන් පරිපූර්ණ වීම සඳහා කුමක් කළ යුතුද, තීරණ ගැනීමට සහ එම ගුණාංගයන් තුලින් අන් අය වෙනුවෙන් උපදෙස් ලබාදීමට ඇති හැකියාව පිළිබඳ දැනුවත් කෙරේ. නායකයෙකු ලෙස ත්‍රිවිධ හමුදා සේවයට එක් වී ඵලදායි මෙහෙවරක නිරත වන යුද, නාවික හා ගුවන් හමුදාවන්හී මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින් 300 දෙනෙකු මෙම සම්මන්ත්‍රණය සඳහා එක්වූහ.

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා සහභාගි විය.

    මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සහ ත්‍රිවිධ හමුදාවන් නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරින් කිහිපදෙනෙකු එක්ව සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය. ඉන් අනතුරුව, සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූවන් හමුවේ වාර්ථාමය වීඩියෝවක් තිරගත කරමින් මෙම සම්මන්ත්‍රණයේ අරමුණු සහ එහි අන්තර්ගතය පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකරන ලදී.

    මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පිළිගැනීමේ කථාව සිදුකරමින් සන්නද්ධ හමුදා සාමාජිකයින් ප්‍රශස්ත මෙහෙයුම් හැකියාවන්ගෙන් යුක්ත බව සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමේ සහ ඒකාබද්ධ පුහුණුවීම පැවැත්වීමේ වැදගත්කම පිළිබඳ පැහැදිළි කළේය.

    “අපගේ සන්නද්ධ හමුදාවන් බොහෝ අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ රටේ සාමය, ආරක්‍ෂාව සහ සමෘද්ධිමත් දේශයක සංවර්ධන අභිලාශයන් ජයගැනීම සඳහා සැමවිටම පෙරමුණ ගෙන ක්‍රියාකරයි. අභියෝගයේ ස්වභාවය කුමක් වුවත්, රට අනතුරට පත්වන සෑම අවස්ථාවකම ජාතියට සහය වීමට අපගේ ත්‍රිවිධ හමුදාවන් පෙරමුණගෙන කටයුතු කර ඇති බව ඔවුන්ගේ ක්‍රියාකලාපයන් තුළින් ගම්‍ය කර ඇත. එබැවින්, සියලු නිලයන්හී දක්‍ෂතාවයන්ගෙන් පරිපූර්ණ හා විශ්වාසවන්ත අණදෙන නිලධාරීන් සමඟින් අපගේ හමුදාවන් ඕනෑම අවස්ථාවකට මුහුණදියහැකි පරිදි සූදානම්ව තබාගැනීම, ජාතික ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා සිදුකළයුතු ක්‍රියාන්විතයන් සඳහා ඔවුන් සේවයේ යෙදවීමට ප්‍රමුඛත්වය දිය යුතු බව” ඔහු පැවසීය.

    “අපට වර්ථමානයේ පවතින අභියෝගාත්මක ආරක්‍ෂක අවශ්‍යතාවයන් සඳහා සාර්ථකව මුහුණ දීමට නම් දක්‍ෂතාවයන්ගෙන් හෙබි නිලධාරින් බිහිකිරීමට අපි විශ්ලේෂණාත්මක හා විවේචනාත්මක චින්තනය, සහයෝගයෙන් ඉගෙනීම, උපදේශනය සහ සිදුවීම් අධ්‍යයනය වැනි ක්ෂේත්‍රයන් රැසක් හරහා නව්‍යකරණ පුහුණු වැඩසටහන් හඳුන්වා දිය යුතුයි. එමගින්, ඔවුන් සිතීමට, උසස් තීරණ ගැනීමට සහ සිවිල් සමාජය සමඟ නිසිලෙස සහයෝගීතාවය පවත්වා ගැනීමේ හැකියාවන් වර්ධනය වනු ඇත. ජාතික අවශ්‍යතා ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා හමුදා නායකත්වය වැඩිදියුණු කිරීමට සමකාලීන ලෝකයේ හමුදා නායකත්වය පිළිබඳ ත්‍රිවිධ හමුදාවන්හී මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා අවැසි කටයුතු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය මඟින් ක්‍රියාවට නැංවිණි. එමෙන්ම, නිලධාරීන්ට සිය රාජකාරි ඉටු කිරීමේදී ප්‍රවීණත්වය වැඩිදියුණු කරන වෘත්තීය හමුදා දැනුම වැඩිදියුණු කිරීම සඳහා අතිශයින්ම වැදගත් වන පදනම මෙමඟින් සැකසෙන බව” එතුමන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    21 වන සියවසට සරිලන පරිදි හමුදා නිලධාරින් සඳහා අවශ්‍ය කරන දැනුම, ආකල්ප සහ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙමඟින් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බවත් සන්නද්ධ හමුදාවන් වෙත පැවරෙන ප්‍රමුඛ කාර්යන් සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය දැනුම සහ ශක්තීන් මෙම සම්මන්ත්‍රණය මඟින් හිමිවන බවත් ‘තමන් සතු හැකියාව සතුරාගේ අසාර්ථකත්වයේ ස්වභාවය මත රඳා නොපැවතිය යුතුය’ යනුවෙන්ද ඔහු පැවසීය.

    “අතීතයේ මෙන් නොව, අපගේ හමුදාවන්හී උපායශීලී නිලධාරීන්ට ඔවුන්ගේ භූමිකාව වර්ථමානයට සරිලන අයුරින් වෙනස් කිරීමට අවශ්‍ය වී ඇති අතර එහිදී, සිවිල් වැසියන්, නීතිය ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් ආයතන හා අමාත්‍යාංශයන්හී සහයෝගය ඇතිව මානුෂීය ලෙස මහජනතාව වෙනුවෙන් සිය සහයෝගය දැක්වීමට හැකියාවන් ඇති විරුවන් ලෙස ක්‍රියාකිරීමට අප සතු හැකියාවන් වැඩිදියුණු කරගත යුතු බව” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරන ලදී.

    මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරමින් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා මෙම සුවිශේෂී සම්මන්ත්‍රණය සංවිධානය කිරීම වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සුභපැතුම් එක් කළේය.

    “මෙම සම්මන්ත්‍රණයේ සැසි වාරයන් ත්‍රිත්වයෙන් මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් නායකත්වය තුලින් අනාගත නායකයින් ලෙස හැඩගන්වන අතර නිලධාරියෙකුගේ වෘත්තීය ප්‍රගතිය හා සම්බන්ධ බොහෝ ක්ෂේත්‍ර කෙරෙහි මෙම සම්මන්ත්‍රණය වැදගත් වේ. මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ට සිය දැනුම හා කුසලතාවයන් ඉහළ නංවාගැනීම සඳහා සාකච්ඡා සහ උපාය මාර්ගික ඉගැන්වීම් අඛණ්ඩව භාවිතා කළයුතුයි. අනාගත නායකයින් සඳහා නායකත්වය අත්‍යවශ්‍ය වන අතර එය අත්‍යවශ්‍ය ගුණාංගයක් වන බව” එතුමන් ප්‍රකාශ කරන ලදී.

    මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ ත්‍රිවිධ හමුදාවන්හී මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින් වෙනුවෙන් සුභපැතුම් එක් කළ ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඔවුන්ගේ හමුදා ජීවිතය වෙනුවෙන් ද සුභපැතුම් එක්කළේය.

    ප්‍රධාන දේශනයේ සමාප්තියෙන් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක්වූ ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. ඉන් අනතුරුව, ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සටහනක් තැබීමෙන් අනතුරුව උත්සවය සඳහා එක්වූවන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක්වූවේය.

    සන්නද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පැවැත්වූ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින්ගේ නායකත්ව සම්මන්ත්‍රණයේදී ‘ජාතික ආරක්‍ෂාව තුළ හමුදාවේ සාම්ප්‍රදායික භූමිකාව සහ කර්තව්‍යය නැවත නිර්වචනය කිරීම’, 'හමුදා නායකත්වයේ පරිණාමය: සමකාලීන ලෝකයේ සාම්ප්‍රදායික නායකත්ව ලක්‍ෂණ භාවිතා කිරීම’, ‘ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ඵලදායී තීරණ ගැනීම: හමුදා නායකත්වය බලගැන්වීම’, ‘කාලීන මෙහෙයුම් පරිසරය තුළ හමුදා නායකත්වයේ නැගී එන භූමිකාව’, ‘ශ්‍රී ලාංකේය සමාජය විසින් අපේක්‍ෂා කරන පරමාදර්ශී හමුදා නායකත්ව ආකෘතිය’, ‘ශ්‍රී ලංකාවේ වත්මන් සහ නැගී එන තර්ජන: කනිෂ්ඨ හමුදා නායකයෙකුගේ භූමිකාව’, ‘හමුදා මානසිකත්වය: හමුදා නායකත්වය සඳහා වෘත්තීය ප්‍රවේශය’, ‘සමාජය තුළ හමුදාවන්හී ප්‍රතිරූපය වැඩිදියුණු කිරීම සඳහා නායකත්ව සංවර්ධනය’ සහ ‘වත්මන් හමුදා අභියෝගයන්ට මුහුණදිය හැකි නායකයෙකුගේ අවශ්‍යතාවය’ ආදී හමුදාවන්ට කාලීන වැදගත්කමකින් යුත් මාතෘකාවන් ඔස්සේ මෙම සම්මන්ත්‍රණය පැවැත්වීය.

    මෙම සම්මන්ත්‍රණය සඳහා කීර්තිමත් විද්වතුන් ලෙස ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පීඨයේ උපායමාර්ගික අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සනත් ද සිල්වා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි.එන් ජයරත්න, ආරක්‍ෂක විශ්ලේෂක නිලන්තන් නිරූතන් මහතා, උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර එච්.එම්.ජී.එස් පලිහක්කාර මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ දේපාර්තමේන්තු ප්‍රධානී ආචාර්ය මනීෂා වනසිංහ පැස්කුවෙල් මහත්මිය, රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ටී.එස්. සලේ, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපායමාර්ගික අධ්‍යයන දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානී ආචාර්ය හරින්ද විදානගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ කලා කටයුතු පීඨයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජෝර්ජ් කුක් මහතා සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් සහ හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) සහභාගී වූහ.

    මෙම උත්සවය සමාප්තියේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් අජිත් දිසානායක මහතා විසින් ස්තූති කථාව පැවැත්වීමෙන් අනතුරුව සම්මන්ත්‍රණය සඳහා එක්වූ සියලුම විද්වතුන් වෙත සංකේතාත්මක සමරු තිළින සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.

    ජාතික අවශ්‍යතාවයන් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා හමුදා නායකත්වය වැඩිදියුණු කිරීම සඳහා වන දැක්ම සමඟ සමකාලීන ලෝකයේ හමුදා නායකත්වයේ එක් එක් ක්ෂේත්‍ර පිළිබඳ වන අත්දැකීමක් ත්‍රිවිධ හමුදා මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින් වෙත බෙදාදීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වන අතර උපායශීලී අණදෙන නිලධාරීන්ට තම රාජකාරි ඉටු කිරීමේදී එම ඉගෙනුම් බෙහෙවින් වැදගත් වේ. මෙම සම්මන්ත්‍රණය ඉදිරිපත් කිරීම්, මණ්ඩල සාකච්ඡා සහ සහභාගිවන්නන් ඉලක්ක කරගත් කණ්ඩායම් සාකච්ඡා සැසිවලින් සමන්විත විය.

    SL Army

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya