පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට සියල්ල සූදානම්

    ජනවාරි 18, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 18 වැනි අඟහරුවාදා ) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඊට පෙර නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමද අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

    අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට එතුමාගේ උපදෙස් මත, කටයුතු යොදා ඇති අතර, ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වේ. ඒ වෙනුවට එතුමා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත ආචාර දැක්වීමක් සිදු කෙරේ. දහඅට වැනිදා පෙ.ව 09.15 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර, එහිදී පළමුවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීමට සිදුවීමට නියමිතයි.
    අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පැමිණීමෙන් පසු,   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදු වන අතර, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය.
    එහිදී කථානායකතුමා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට නියමිතයි.
    ඉන් පසුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබයි.
    එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී ශ්‍රී ජයවර්ධනපුර, ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, අතිගරු ජනාධිපතිතුමාට ආශිර්වාද කරනු ලබයි.
    අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, සභාව කල් තැබීම සිදුවේ. ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර ඇත.
    නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ,හිටපු ජනාධිපතිවරුන්,අග්‍රාමාත්‍යවරුන් ,අගවිනිසුරුතුමන් , උපරිමාධිකරණ විනිසුරුවරුන් හා නීතිපතිතුමන් ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    එමෙන්ම සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම්වේද අනුගමනය කරමින් නවවන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ කටයුතු සිදුකෙරෙන බවද හෙතෙම අවධාරණය කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya