රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( ජනවාරි 19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ බාල පෙට්‍රල් ගෙනඒමට රජය යත්න දරන්නේ යැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නගන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 ඉන්ධන නෞකාවලින් මෙරටට ගෙන ඒමේදී ස්වාධින නිරීක්ෂකයන් විසින් සාම්පල පරික්ෂා කරන බවත්, මෙරටට පැමිණි පසු ආනයනකරුවන් සම්පල බැගින් පරික්ෂා කරන බවත්, තෙල් ගබඩාව භාරව සිටින ගබඩා පාලක සමාගම විසින් තවත් සාම්පලයක් පරීක්ෂා කරන බවත්, මීට අමතරව තෙල් ටැංකියකින් තෙල් ලබා ගැනීමේදීද සාම්පලයක් පරික්ෂා කරන බවත් බලශක්ති අමාත්‍යවරයා පැවසීය. මෙම පරික්ෂා කරන ඕනෑම අවස්ථාවක ඉන්ධන බාල ප්‍රමිතියෙන් යුක්ත නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බවත්, සමහර අවස්ථාවල ඩීසල්වලින් ලාභ ලැබීමට යම් පිරවුම්හල්වල ඩීසල්වලට යම් යම් දෑ එකතු කිරීම සිදු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.
එවැනි දේ සිදුවන බවට යම් පැමිණිල්ලක් ලැබේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත්, එසේ නොමැතිව සමාජ මාධ්‍යය තුළ පළකිරීම සිදු කළද ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට හැකියාවක් නොමැති බවත්, මේ දක්වා කිසිඳු පුද්ගලයෙක් තෙල් සංස්ථාවට හෝ බලශක්ති අමාත්‍යංශයට කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවත්, උදය ගම්මන්පිළ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, එම චෝදනාවල සත්‍යයක් නොමැති බවත්, එය හුදෙක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන හේතු විරහිත චෝදනාවක් බවත්ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සම්බන්ධ කිසිඳු වෘත්තිය සමිතියක් රජයට චෝදනා කර නොමැති බවත්, මෙම චෝදනාව කරන පුද්ගලයා වසර කිහිපයකට පෙර ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කර ඉවත් වූවෙකු බවත් අමාත්‍යවරයා පැවසීය.