වසර 75 ක් පැරණි යම් යම් සම්ප්‍රදායන් සහ රීතීන්, අඛණ්ඩව භාවිත කළ යුතුද නැද්ද යන්න අලුත් තරුණ පරම්පරාව තුළ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ජනතා අපේක්ෂා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වගකීම් ඉටු කිරීමට ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට යන දෙපාර්ශවයට ම වගකීමක් පවතින බවද සභානායකවරයා අවධාරණය කළේය. යම් අයෙක් සිටගෙන සිටියාට, බාධක මැදින් ගංඟාව ගලා බැසීම නොනවතින බවද ඔහු පැවසීය.
සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ, අද(19) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කතානායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂය දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමිනි.
සභානායකවරයා පාර්ලිමේන්තුවේදී මෙසේද කීය.
“ ගරු කථානායකතුමනි, මම ඔබතුමා විසින් දැන් කරන ලද ප්‍රකාශය අගය කරනවා. එහි සඳහන් කරුණු ගැන රජය සහ ආණ්ඩු පක්ෂය සාකච්ඡා කරලා ඔබතුමා සමඟ වැඩ කිරීමට අපි බැඳී සිටිනවා. ඔබතුමා සඳහන් කළ පරිදි පාර්ලිමේන්තුවේ ගෞරවය හා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුගමනය කිරීමට දක්වන උනන්දුව ක්‍රමානුකුල සෝදාපාලුවට ලක් වී තිබෙනවා. එක්කෝ ඒ සම්ප්‍රදායන් කාලෝචිත නොවනවා ඇති. එසේ නම් අපි සාකච්ඡා කර ඒවා කාලෝචිත කර ගැනීමට අවශ්‍ය නම් යම් යම් වෙනස්කම් සිද්ධ කළ යුතුයි. ඒ වගේම අපි දරදඩු වෙන්න බැහැ, එවැනි වෙනස්කම් කිරීමට. මොකද? ලෝකය ඉස්සරහට යනවා. අවුරුදු 75ක් පැරණි යම් යම් සම්ප්‍රදායන් හා රීතීන් එලෙසම පාවිච්චි කළ යුතුද නැද්ද කියන එක අද දිනයේ අලුත් පරම්පරාව අතර සාකච්ඡාවට ලක් වෙමින් පවතිනවා.
නමුත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම ඉටු කිරීමට එනම් ව්‍යවස්ථාමය බලය, මූල්‍යමය බලය සහ පාර්ලිමේන්තුවෙ මඟ පෙන්වීම කිරීමට අපි දෙපාර්ශවයේම වගකීමක් තියෙනවා. ඊයෙත් ජනාධිපතිතුමා එසේ ප්‍රකාශ කළා. එක්වීමේ වැදගත්කම. ගෞරවාන්විත පාර්ලිමේන්තුවේ දියුණුවත්, ඒ වගේම රටේ ජනතාවගේ නියෝජිතයන් හැටියට ඉටු කළ යුතු කාර්ය භාරය ඉටු කරන්නත්, දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන්ගෙන් ආයාචනයක් කළා.
ගරු කතානායකතුමනි, ඔබතුමා අද මෙය ප්‍රකාශ කිරීම ඉතාම වැදගත්. මම කිසිවක් කියන්න යන්නේ නැහැ, මගේ මිත්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා කියපු දේට. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව හා විපක්ෂය ඔබතුමාගේ සභාපතිත්වයෙන් ගිය අවුරුද්දේ රැස් වී තමයි 2022 ජනවාරි මාසයේ 12 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවේ. එය රහසක් නොවෙයි. එය තමයි සත්‍යය. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව දීර්ඝතම නිවාඩුව පැමිණෙන්නේ සාමාන්‍යයෙන් අය වැය ලේඛනයෙන් පස්සේ. ඒ තමයි සම්ප්‍රදාය. ඒ අනුව අපි එකඟතාවයකට පැමිණියා, අපි රැස් වන්නේ ජනවාරි මාසයේ 12 කියලා.
ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව ඇමතීමට තිබෙන සුවිශේෂි වගකීම 2022 වසර සඳහා, පාර්ලිමේන්තුව 18 දින රැස් කොට, ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට ජනාධිපතිතුමාගේ සුවිශේෂි ප්‍රකාශය කළා. ඉතිං අපි ඒවා ගැන වැරදි අර්ථකතන දීමට උත්සහ දැරිය යුතු නැහැ.
නොයෙක් ගැටලු තැන් පසු කරමින් ගංඟාව ගලා බසිනවා. ඒ නිසා ගංඟාව ගලා බසින්න එපා කියල හිටගෙන කිව්වට හරියන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයකින් තමයි ලෝකය මේ අර්බුදයෙන් ගමන් කරන්නේ. මගේ හිත මිත්‍ර හිටපු අග්‍රාමාත්‍යතුමා පිළිගන්නවා ඇති. ලෝකයේ කිසිම රටක් මුහුණ නොදුන්න භයානක තත්ත්වයක් හරහා අපි ගමන් කරනවා. ඒ නිසා අපි දෙපාර්ශවයම පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කොට, ගරු කතානායකතුමනි, ඔබතුමාට ලබා දිය හැකි සහයෝගය එනම් ජනතා බලාපොරොත්තු ඉටු කරන ක්‍රියාවලියට කැපවී කටයුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ කරන්න කැමතියි.”