ජනාධිපතිතුමා විසින් ඉදිරි වසර තුනක කාලය සඳහා වන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි දී ඉදිරිපත් කරන ලදි.
අනතුරුව දෙවන සැසිවාරයේ සහ 2022 වර්ෂයේ පළමු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01හි දී පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 දෙදින පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය වූවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් විවාදයේ දී අදහස් දැක්වීමට සූදානම්ව සිටින බැවින් 21වන සිකුරාදා දිනය ද විවාදය සඳහා වෙන් කර දෙන මෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව කථානායකතුමා දැනුවත් කර 21 සිකුරාදා දිනය ද මෙකී විවාදය සඳහා ලබා ගන්නා ලෙස මෙහි දී අග්‍රාමාත්‍යතුමා විසින් උපදෙස් දෙන ලදි.
“තෙල් ටැංකි යළි රටට”යන තේමාවෙන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් වෙත මෙහි දී පැහැදිලි කිරීමක් කරන ලදි.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහත්වරු ඇතුළු කැබිනට් ඇමතිවරුන්,රාජ්‍ය අමාත්‍යවරුන් සහ අණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්,පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන,ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ශානිකා ගොපල්ලව මෙනවිය, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක මහත්වරු ඇතුළු නිලධාරි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.