තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම අනුව ලබා දුන් මෙම නව නිවසේ “ප්‍රදාන පත්‍රය”අග්‍රාමාත්‍යතුමා විසින් රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතාට අරලියගහ මන්දිරයේ දී පිරිනමන ලදි.
ලෝක වාර්තාවක් තබමින් පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකා නාමය රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා වෙනුවෙන් නව නිවසක් ලබා දෙන්නැයි පසුගිය වසරේ සැප්තැම්බර් 08 වැනිදා තමන් කළ ප්‍රකාශය අනුව යමින් අග්‍රාමාත්‍යතුමා ඊයේ මෙම පොරොන්දුව ඉෂ්ට කළේය.
ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 02 කොම්පඤ්ඤ වීදියේ පිහිටි මෙට්‍රෝ හෝම්ස් නිවාස ව්‍යාපෘතියේ 40 ඒ 4/10 දරණ නිවස නිදහස් දීමනාවක් ලෙස දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතාට ප්‍රදානය කෙරිණි.
මේ වනවිටත් ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දුන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේ දී ජාතික ක්‍රීඩා උළෙලට පැරා ක්‍රීඩා එක්කිරීමේ යෝජනාව පිළිබඳව අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළේය.
පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා එළිදැක්වීම සඳහා පවතින ඉඩ ප්‍රස්තාවන් පුළුල් කිරීම ප්‍රශංසනීය කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී පැවසීය.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය,පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිතන් කර්නල් දීපාල් හේරත්, පැරාලිම්පික් කමිටුවේ හිටපු සභාපති මේජර් ජෙනරාල් අම්පෙමොහොට්ටි, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (දේපල) අනුර ප්‍රසන්න,නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක (නිවාස) රත්න කුමාර මහත්වරු ඇතුළු ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික මහත්වරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.