පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතාගේ ආරාධනයකට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල, කුලියාපිටිය අක්කර 400කට අධික වී වගාවක් නිරීක්ෂණය කිරීමට එහි ගිය අමාත්‍යවරයාට ගොවියෝ මේ බව පැවසූහ.
“අපි මහ කන්නයේ වී වගාව නියමිත වේලාවට පටන් ගත්තා. ආණ්ඩුව අපිට පොහොර දුන්න විදියට වී වගාවට ඒවා යොදා ගත්තා. ඒ වගේම මෙවර අස්වැන්නත් ටිකක් අඩුයි. ඒ වුණාට තියෙන අස්වැන්නෙ බොල් ඇට අඩුයි. ඒ වගේම තියෙන වී කරල් සම්පූර්ණව හොඳට තිබෙනවා. රජයෙන් දුන්න කාබනික පොහොර හා අපි හදා ගත්තු කොම්පෝස්ට් පොහොර ඇරෙන්න වෙන දෙයක් අපි කුඹුරුවලට දාලා නෑ. ඒ නිසා වියදමත් අඩුයි. එහෙම බලනකොට අස්වැන්න අඩු වුණාට පාඩුයි කියලා කියන්න බෑ. මුලදී අපි ටිකක් බය වුණා. ඒ වුණාට අපි කාබනික පොහොර යොදලා වගාව කළා. ඒක සාර්ථක වෙලා තියෙනවා.” යැයිද ගොවියෝ කීහ.
අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ පන්නල දැල්මඟ යාය කුඹුරු අක්කර 142 කින් සමන්විතය. කුලියාපිටිය කුරුදැල් හේනයාය අක්කර 80කට වැඩිය. හමනාහේන කුඹුරු යාය ද අක්කර 155කට අධිකය. මේ සෑම යායක්ම වගා කර ඇත්තේ කාබනික පොහොර යොදාගෙන බව ගොවියෝ කියති. ඇතැම් ගොවියෝ රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණ කළා. අපි උද්ඝෝෂණ කළේ නෑ. ආණ්ඩුව දුන්නු පොහොර දාලා වගාව සාර්ථක වෙලා තියෙනවා යැයිද ගොවියෝ කීහ. නියමිත කාලයට මහ කන්නයේ වී ගොවිතැන සිදුකර ගන්නට නොහැකිවීමෙන් සමහර ගොවීන්ට වැඩි අලාභයක් විඳින්නට සිදුව ඇති බවද ගොවියෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඇතැම් ප්‍රදේශවල ගොවින් කාබනික වගාව අසාර්ථකයි, අස්වැන්න අඩුයි, කියලා කෑ ගහනවා. නමුත් මෙහෙ ගොවීන් කැපවීමෙන් මහ කන්නය සාර්ථක කරගෙන තියෙනවා. රජයක් විදියට අපි ඒ ගැන සතුටු වෙනවා. වගා හානි සඳහා වන්දි ලබාදීමේ වැඩසටහන පිළිබඳව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය රැස් වූ විට සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා මෙහිදී කීවේය.