පාර්ක් බ්යෝන්ග් - සියෝග් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.
පාර්ක් බ්යෝන්ග් -සියෝග් (Park Byeong-Seug) මහතා කොරියානු ජනරජයේ 21 වන ජාතික සභාවේ කතානායකවරයා යි.
ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව තුළ පුළුල් අවකාශයක් පවතී. එම අවස්ථාව උදාකරගැනීමට කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙස ජනාධිපතිතුමා පාර්ක් බ්යෝන්ග් -සියෝග් මහතාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලාංකිකයින් 22,000කට ආසන්න සංඛ්‍යාවක් දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර ඔවුන් ඉතා සතුටින් ඉහළ ශ්‍රම දායකත්වයක් ලබා දෙති. එම ශ්‍රම වෙළෙඳපොළෙහි වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව සියෝග් මහතා ජනාධිපතිතුමා සමග පැවසීය.
මෙරට වෘත්තීය පුහුණු අවස්ථා දියුණු කරගැනීමට කොරියානු රජයේ ආධාර ලබාදීමට ද දකුණු කොරියානු කථානායකවරයා එකඟතාව පළ කර අතර මෙරට අවශ්‍යතාව අනුව එය ඉටුකර දීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන බව කථානායකවරයා සඳහන් කළේය.
ජාතික සභාවේ මන්ත්‍රී ජුන්ග් පිල්මෝ (JUNG Pilmo), ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (JEONG Woonjin), විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.